𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුව සහ වෙළෙඳ ප්‍රතිපත්ති උපදේශන කමිටුව ස්ථාපිත කිරීමට පියවර

ශ්‍රී ලංකාවේ වත්මන් නිදහස් වෙළෙඳ ගිවිසුම් හා නිදහස් වෙළෙඳ ගිවිසුම් පිළිබඳ ඉදිරි ගමන් මග පිළිබඳව සමාලෝචනයක් සිදු කිරීම පිණිස පත් කළ කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස 2026-08-24 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. එම නිර්දේශ සැලකිල්ලට ගෙන, අනාගත නිදහස් වෙළෙඳ ගිවිසුම් පිළිබඳ සාකච්ඡා පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව විසින් වඩාත් ඉලක්කගත, අනුක්‍රමික සහ සාක්ෂිපාදක ප්‍රවේශයක් අනුගමනය කිරීමටත්, ඒ සඳහා තිරසර සහ අර්ථවත් පාර්ශ්වකරුවන්ගේ උපදේශන ක්‍රියාවලියක් සහතික කිරීමටත් හැකි වන පරිදි ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුවක් සහ වෙළෙඳ ප්‍රතිපත්ති උපදේශන කමිටුවක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ ඇත. ඒ අනුව, පහත පරිදි ක්‍රියා කිරීම පිණිස වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

  • විභව ද්විපාර්ශ්වික හෝ කලාපීය වෙළෙඳ හවුල්කරුවන් සමඟ කෙරෙන වෙළෙඳ සාකච්ඡා මෙහෙයවීම සඳහා ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුව ස්ථාපිත කිරීම.
  • වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුවේ සභාපති සහ ප්‍රධාන ජාතික වෙළෙඳ සාකච්ඡාකරු ලෙස පත් කිරීම.
  • ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුව යටතේ අවශ්‍ය කරනු ලබන තාක්ෂණික ක්‍රියාකාරී කණ්ඩායම් සමඟින් විෂය නිශ්චිත අනුකමිටු 12ක් ස්ථාපිත කිරීම.
  • ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුව වෙත එහි ක්‍රියාකාරී සහ තාක්ෂණික අංශ පිළිබඳව උපදෙස් දීමටත්, වෙළෙඳ ගිවිසුම්වලට අදාළ කරුණු සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය වෙත ප්‍රතිපත්ති නිර්දේශ ඉදිරිපත් කිරීමටත්, නිදහස් වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් තිරසර අදහස් විමසීම් සහ සන්නිවේදන යාන්ත්‍රණ සහතික කිරීමටත් වෙළෙඳ විශේෂඥයින්, වෙළෙඳ ක්ෂේත්‍රයට අදාළ පර්යේෂණයන්හි නිරත වන පර්යේෂකයින්, ව්‍යාපාරික ප්‍රජාව, වෘත්තීය සංගම්, සිවිල් සමාජය සහ අදාළ රාජ්‍ය නිලධාරින්ගෙන් සමන්විත වෙළෙඳ ප්‍රතිපත්ති උපදේශක කමිටුවක් පත් කිරීම.
  • ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ විෂය පථය පැවරී ඇති අමාත්‍යවරයා සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ විෂය පථය පැවරී ඇති අමාත්‍යවරයා වෙළෙඳ ප්‍රතිපත්ති උපදේශක කමිටුවේ සම සභාපතිවරුන් වශයෙන් කටයුතු කිරීම.

උපුටා ගැනීම : අද දෙරණ