𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

ඔක්තෝබරයේ දින 20ක දී රු. බිලියන 324ක් කොටස් වෙළෙඳපොළට අහිමි වෙයි

මෙම සතියේ අඛණ්ඩ දෙවන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළේ කඩා වැටීමක් ඊයේ (20) දිනයේ දී වාර්තා වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙසින් නැවත වරක් ඊයේ දින ගනුදෙනු අවසන් වන විට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක විසිදහසේ සීමාවෙන් පහළට ඇවිත් තිබුණී.

එහිදී සියලු කොටස් මිල දර්ශකයේ ඒකක 75.64ක පහළ යාමක් වාර්තා වූ අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 19,983.78ක් ලෙසින් දැක්වුණි. මේ අතර S&P SL20 දර්ශකය ඒකක 19.24ක පහළ යාමක් වාර්තා කරමින් ඒකක 5,681.51ක් දක්වා පහළ ගියේය.

කොටස් වෙළෙඳපොළේ ඊයේ (20) දින වාර්තා වූ මෙම පහළ යාමත් සමඟින් මේ වන විට කොළඹ කොටස් වෙළෙඳපොළ, සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම රු. බිලියන 7,224.21 ක් ලෙසින් වාර්තා වී තිබේ. 2026 ඔක්තෝබර් මාසය ආරම්භයේ දී කොටස් වෙළෙඳපොළ, වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය සටහන්ව තිබුණේ රු. බිලියන 7,548.18ක් ලෙසිනි. ඒ අනුව 2026 ඔක්තෝබර් මාසයේ පළමු දින 20 තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළෙන් ගිලිහී ඇති මුළු වටිනාකම රු. බිලියන 323.97ක් වේ.

සමාගමක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ගණනය කරනුයේ සමාගමේ නිකුත් කරන ලද කොටස් ප්‍රමාණය, එම සමාගමෙහි කොටසක වෙළෙඳපොළ මිලෙහි ගුණිතයක් ලෙස ගැනීමෙනි. නිකුත් කරන ලද කොටස් ප්‍රමාණය වෙනස් නොවන විට සමාගමේ කොටස් මිල උච්ඡාවචනය වන අවස්ථාවේ දී එම සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ද ඉහළ පහළ යනු ඇත.

මෙලෙස කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඇති සියලු සමාගම්වල වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයෙහි එකතුව සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය වේ.

මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට, කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම 2025 ඔක්තෝබර් 14 දින රු. බිලියන 8,000 හෙවත්  රු. ට්‍රිලියන 8 සීමාව ඉක්මවා ගොස් තිබුණි.

අද දෙරණ