බැංකු ක්ෂේත්රය තුළ දැක්වූ කැපී පෙනෙන කාර්යසාධනය හා අඛණ්ඩ නායකත්වය වෙනුවෙන් කොමර්ෂල් බැංකුව ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කරගත් ‘ග්ලෝබල් ෆයිනෑන්ස්’ සඟරාව විසින් 24 වැනි වරටත් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස නම් කර ඇත.
අප්‍රිකාව, ආසියානු පැසිෆික් කලාපය, කැරිබියන්, මධ්‍යම ඇමෙරිකාව, මධ්‍යම හා නැගෙනහිර යුරෝපය, ලතින් ඇමෙරිකාව, මැද පෙරදිග, උතුරු ඇමෙරිකාව සහ බටහිර යුරෝපය යන කලාප පුරා රටවල් 150 කට අධික සංඛ්‍යාවක ඉහළම කාර්යසාධනයක් සහිත බැංකු ඇගයීමට ලක් කරන, ග්ලෝබල් ෆයිනෑන්ස් හි ‘2026 ලොව හොඳම බැංකු’ සම්මාන උළෙලේ දී මෙම සම්මානය ප්රදානය කෙරිණි.
කොමර්ෂල් බැංකුව සමඟ ආසියා පැසිෆික් කලාපයේ ඒ ඒ රටවල්වල හොඳම බැංකු ලෙස නම් කර ඇති අනෙකුත් බැංකු අතර CBA (ඕස්ටේ්රලියාව), ICBC (චීනය), Bank of China (හොංකොං), ANZ (නවසීලන්තය), DBS (සිංගප්පූරුව), MUFG (ජපානය), ස්ටේට් බෑන්ක් ඔෆ් ඉන්දියා (ඉන්දියාව), City බැංකුව (බංගලාදේශය), Hana බැංකුව (දකුණු කොරියාව) සහ Techcom බැංකුව (වියට්නාමය) විය.
මෙම සම්මානය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික ගමන් මග තුළ 24 වරක් මෙම සම්මානය දිනා ගැනීම බැංකුවේ විශිෂ්ටත්වය හා අධිෂ්ඨානශීලී බව මනාව විදහා දක්වන බවයි.
“මෙම සම්මානය විශේෂයෙන් ම අර්ථ ගැන්වෙන්නේ එය වසර ගණනාවක් පුරාවට බැංකුවේ ඉහළම මට්ටමක පැවති උසස් සේවාව පිළිබිඹු කරන බැවිනි,” යනුවෙන් ද ඔහු පැවසීය. “එය හුදෙක් ප්රමිතීන් පවත්වා ගැනීම ම පමණක් නොව, අභියෝග හා ප්‍රකෘතිමත් වීමේ චක්‍ර හරහා ගනුදෙනුකරුවන්ට, ව්‍යාපාරවලට හා පුළුල් ආර්ථිකයට සහය වීමට බැංකුව සතු ධාරිතාව අඛණ්ඩව ශක්තිමත් කිරීමකි. ගෝලීය මෙන් ම දේශීය ආර්ථික අවිනිශ්චිතභාවයන් මධ්‍යයේ ශ්‍රී ලංකාව සිය ආර්ථික ප්‍රගතිය තහවුරු කර ගනිමින් යන අවස්ථාවකදී, බැංකුවට ලැබුණු මෙම ඇගයීම, එවන් ගතික පරිසරයක් තුළ ස්ථාවර ඉදිරි දැක්මක් සමඟින් සාර්ථකව ප්‍රතිචාර දැක්වීමේ සූදානමක් ද ඇතුව සිටීමට අප සතුව ඇති නොසැලෙන ශක්තිය අවධාරණය කරයි.”
බැංකුවේ නව කාර්යසාධනය ශක්තිමත් මූල්‍ය පදනම්, විනයගරුකව අවදානම් කළමනාකරණය කිරීම සහ නව්‍යෝත්පාදනයන් සඳහා බැංකුව යෙදවූ තිරසර ආයෝජන කළඔ මනාව පිළිබිඹු වන බව මනතුංග මහතා සඳහන් කලේය. කර්මාන්තයේ ලාභදායීතාවය ඉහල කාර්යක්ෂමතාව සහ වත්කම්වල ගුණාත්මකභාවය සඳහා නායකත්වය පවත්වා ගනිමින් කොමර්ෂල් බැංකුව වත්කම්, ණය හා තැන්පතුවල ශක්තිමත් වර්ධනයක් අඛණ්ඩව වාර්තා කර ඇති බව ඔහු තවදුරටත් පෙන්වා දුන්නේ ය. එහි කොටස් මත ප්‍රතිලාභය 21% ට වඩා ශක්තිමත් වී, පිරිවැය-ආදායම් අනුපාතය ද බැංකු අංශයේ අවම අගයන් අතරට පැමිණ ඇති අතර, එය විචක්ෂණශීලී ණය කළමනාකරණය සහ ඔරොත්තු දීමේ හැකියාව අවධාරණය කරන බව ඔහු පැවසීය.
ඇමරිකානු ඩොලර් බිලියන 1 ඉක්මවන වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත පළමු ශ්‍රී ලාංකික බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර, ලොව හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු බැංකුව ද වේ. ශ්‍රී ලංකාවේ සියලුම බැංකු අතරින් ඉහළම ප්‍රාග්ධන පදනමක් ඇති කොමර්ෂල් බැංකුව, ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම ණය දෙන්නා සහ රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට විශාලතම ණය දෙන්නා වේ. බිස්නස් ටුඩේ සඟරාවේ හි ඉහළම ආයතන 40 අතර අංක 1 ශ්‍රේණිගත කර ඇති කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය සහ වඩාත්ම සම්මානලාභී බැංකුව ලෙස පිළිගැනේ. ඩිජිටල් නවෝත්පාදනයේ ප්‍රමුඛයා වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.
දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති 270 කට අධික ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් පීඑල්සී සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.
උපුටා ගැනීම : අද දෙරණ



