𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

ආසියා පැසිෆික් මුදල් විශුද්ධිකරණය පිළිබඳ කණ්ඩායමේ තෙවැනි අන්‍යෝන්‍ය ඇගයීම් සමුළුව ඇරඹෙයි

ආසියා පැසිෆික් මුදල් විශුද්ධිකරණය පිළිබඳ කණ්ඩායම (Asia/Pacific Group on Money Laundering – APG) විසින් පවත්වනු ලබන ශ්‍රී ලංකාවේ තෙවැනි අන්‍යෝන්‍ය ඇගයීම් සමුළුවේ සමාරම්භක අවස්ථාව පසුගිය දා (26) කොළඹ ගෝල් ෆේස් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම සමාරම්භක අවස්ථාව අග්‍රමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය මෙනවිය සහ  ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

මූල්‍ය අපරාධ මර්දනය කිරීමේදී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පෙන්වීමට මෙන්ම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කිරීම සඳහා මෙම ඇගයීම වැදගත් වන බව අග්‍රමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නාය. මූල්‍ය ආයතන කෙරෙහි පවතින මහජන විශ්වාසය බිඳවැටීම සහ දූෂණය යන්න රටක ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වයට දැඩි තර්ජනයක් වන බවද ඇය අවධාරණය කළාය.විනිවිදභාවය, වගවීම, ශක්තිමත් ආයතනික සම්බන්ධීකරණය සහ නීතිය ක්‍රියාත්මක කිරීම තුළින් මූල්‍ය පද්ධතියේ සුරක්ෂිතභාවය තහවුරු කරමින් මහජන විශ්වාසය ගොඩනැගිය හැකි බව ඇය වැඩිදුරටත් කියා සිටියාය. 

ශ්‍රී ලංකාව මුදල් විශුද්ධකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීමේ රාමුව ශක්තිමත් කිරීමටත්, මතුවන අවදානම්වලට මුහුණ දීමටත් රජය කැපවී සිටින බව අග්‍රමාත්‍යවරිය මෙහිදී ප්‍රකාශ කළාය.  

 සමුළුවේ පළමු දිනය තුළ ශ්‍රී ලංකාවේ AML/CFT ජාතික කමිටුව, කාර්ය සාධක බලකාය සහ අදාළ රාජ්‍ය ආයතන සමඟ පවත්වන ලද ආරම්භක සාකච්ඡාවේදී රටේ මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට අරමුදල් සැපයීමේ අවදානම් තත්ත්වයන්, නීතිමය ප්‍රතිසංස්කරණ සහ ජාතික උපායමාර්ග පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරිණි. තවද, නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා පොලිසිය, රේගුව සහ මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය ඇතුළු ආයතන එක්ව අවදානම් කළමනාකරණය හා ආයතනික සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා පවත්වන ලදී.   

මීට අමතරව,  වංචාවන් ක්‍රියාත්මක කෙරෙන මධ්‍යස්ථාන ක්‍රියාකාරකම් හා මිනිස් ජාවාරම් වැනි නව අවදානම්, කොළඹ වරාය සහ විශේෂ ආර්ථික කලාප (SEZ) ආශ්‍රිත සාගර කලාපීය මූල්‍ය අවදානම්, මෙන්ම නියෝගිත නොවන මූල්‍ය ව්‍යාපාර හා වෘත්තීන් (DNFBPs) සහ රාජ්‍ය නොවන සංවිධාන (NPOs) අනිසි ලෙස භාවිත කිරීම වැළැක්වීමේ පියවරයන් පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස අදහස් හුවමාරු කර ගන්නා ලදී.  

2026 ඔක්තෝබර් 25 සිට නොවැම්බර් 06 දක්වා පැවැත්වෙන මෙම APG නිරීක්ෂණ සංචාරය අතරතුර, ශ්‍රී ලංකාවේ AML/CFT රාමුව, ජාතික අවදානම් තක්සේරුව (NRA) සහ ආයතනික ක්‍රියාකාරීත්වය APG ඇගයීම් කණ්ඩායමේ සමාලෝචනයට ලක්වනු ඇත. ඩිජිටල් ආර්ථිකය තුළ සිදුවන මූල්‍ය ගනුදෙනුවල සුරක්ෂිතභාවය සහ විනිවිදභාවය තහවුරු කිරීමට මෙම ජාත්‍යන්තර ප්‍රමිතීන් ඉමහත් දායකත්වයක් සපයන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පෙන්වා දෙයි. 

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, ඩිජිටල් ආර්ථික අමාත්‍යංශ ලේකම් වරුණ ධනපාල මහතා සහ  අමාත්‍යංශ ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

අද දෙරණ