𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

විදෙස් සංචිතය යළි ඩොලර් බිලියන 7න් පහළට

2026 අප්‍රේල් මාසය තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම නැවත වරක් ඩොලර් බිලියන 7 මට්ටමින් පහළට පැමිණ තිබේ.

ඒ අනුව 2026 මාර්තු මාසය අවසානයේ දී වාර්තා වූ ඩොලර් මිලියන 7,026ක් වූ සංචිත වත්කම් ප්‍රමාණය 2026 අප්‍රේල් මාසය අවසන් වන විට ඩොලර් මිලියන 6,759ක් දක්වා 3.8%කින් පහළ ගොස් ඇත.

සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය 2026 අප්‍රේල් මාසය තුළ දී ඩොලර් මිලියන 6,800 සිට ඩොලර් මිලියන 6,505ක් දක්වා 4.3%කින් අඩු වී තිබේ.

මේ අතර මහ බැංකුවේ රන් සංචිතය ද පසුගිය අප්‍රේල් මාසය තුළ දී ඩොලර් මිලියන 222 සිට ඩොලර් මිලියන 219ක් දක්වා 1.2%කින් පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා වැඩිදුරටත් පෙන්වා දේ.

වසර 5 1/2කට පසුව පළමු වරට ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය පසුගිය 2026 පෙබරවාරි මාසයයේ දී ඩොලර් බිලියන 7 සීමාව ඉක්ම වීමට සමත් වූ අතර පෙබරවාරි මාසය අවසානයේ දී එම අගය ඩොලර් මිලියන 7,284ක් ක් ලෙසින් වාර්තා වුණි.

කෙසේවෙතත් 2026 මාර්තු මාසය වන විට එම ප්‍රමාණය ඩොලර් මිලියන 7,026ක් දක්වා 3.5%කින් පහළ ගිය අතර ඒ අනුව අඛණ්ඩව දෙවන මාසයටත් සංචිතයේ පහළ යාමක් අප්‍රේල් මාසය තුළ දී වාර්තා වී ඇත.

උපුටා ගැනීම : අද දෙරණ