ජාත්‍යන්තර ශාරීරික දඬුවම් අවසන් කිරීමේ දිනය නිමිති කරගනිමින් , කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය වෙත විවෘත ලිපියක්
ජාත්‍යන්තර ශාරීරික දඬුවම් අවසන් කිරීමේ දිනය නිමිති කරගනිමින්, වයස අවුරුදු 11ක් වන සහිල් මනාන් සහ වයස අවුරුදු 10ක් වන ශෂ්‍යනූ දීඝායු මුණසිංහ යන පාසල් දරුවන් විසින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යතුමිය ගරු සරෝජා සවිත්‍රි පෝල්රාජ් මහත්මිය වෙත විවෘත ලිපියක් යොමු කර තිබේ. ඔවුන් ළමා ශාරීරික හිංසනය කෙරෙහි දැඩි ලෙස සිය විරෝධය ප්‍රකාශ කරන අතර පසුගිය වසරේ දී කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය හමු වී ශාරීරික දඬුවම් වැළැක්වීම පිළිබඳ සිය යෝජනාවන් ද ඉදිරිපත් කර ඇත. පාසල් තුළ ශාරීරික දඩුවම් තහනම් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛය පිළිබඳ ඔවුන් සතුටු වන අතර , ශාරීරික හිංසනය පූර්ණ වශයෙන්ම අවසන් කිරීම සඳහා නෛතික ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාවය ද ඔවුන් සිය ලිපිය ඔස්සේ මතු කර තිබේ. පහතින් දැක්වෙන්නේ ඔවුන් විසින් අමාත්‍යතුමිය වෙත ඉදිරිපත් කරන ලද එම විවෘත ලිපිය වේ.
2026 අප්‍රේල් 30
ගරු අමාත්‍යතුමිය,
ඔබට අපව මතක ඇතැයි සිතනවා. 2025 පෙබරවාරි 28 දින ළමා ආරක්ෂණ සන්ධානය සමඟ අපි ඔබව හමුවුණා. ඒ ශ්‍රී ලංකාවේ පාසල්වල ශාරීරික දඬුවම් අවසන් කිරීම ගැන කතා කිරීමට. එදා ගත්තු මේ පිංතූරෙ ඔබේ මතකය අලුත් කරාවි.
අපේ රටේ ළමා පුරවැසියන් ආරක්ෂා කිරීම අලුතෙන් පත්වුනු රජයේ වගකීමක් බව ඔබ අපට පොරොන්දු වුනා. මේ මස මුලදී අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛ 11/2026 මගින් ශාරීරික දඬුවම් තහනම් බව පාසල්වලට දැනුම් දීම ගැන අපි සතුටු වුනා.
ළමයින්ට එරෙහිව ශාරීරික දඬුවම් භාවිතා කරන ඕනෑම කෙනෙකුට නීතිය අනුව කටයුතු කරන බවත ඒ චක්‍රලේඛයේ කියලා තිබුනා. නමුත් නීතියේ හිඩැස් තියෙනවා. අපි ඔබව හමුවුනු අවස්ථාවෙ නීතිය වෙනස් කරන්න ඉල්ලුවේ ඒ නිසා. නීතිය වෙනස් නොකළොත්, චක්‍රලේඛයෙන් විතරක් පාසල් වල ළමයින් ආරක්ෂා වෙන්නෙ නෑ.
2024 නොවැම්බර් මාසයේ බොගෝටා අග නුවර පැවති දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමේ ප්‍රථම ගෝලීය අමාත්‍ය සමුළුවේදී ශ්‍රී ලංකාව පැහැදිලි පොරොන්දු හතරක් දුන්නා. එයින් දෙකක්, 2025 වසර මැද වන විට ශාරීරික දඬුවම් තහනම් කිරීම සඳහා නීතිය වෙනස් කිරීමටත්, ධනාත්මක විනය පිළිබඳ ගුරුවරුන් පුහුණු කිරීමෙන් ආරක්ෂිත පාසල් නිර්මාණය කිරීමටයි. මෙය ඔබගේ අමාත්‍යාංශයේ වෙබ් අඩවියේද පල කරල තියෙනවා[1].
නමුත් අපිට හරිම කණගාටුයි මේ පොරොන්දු තවමත් ඉටු කරලා නැති නිසා අපේ යාලුවො දිගින් දිගටම පාසල්වල හිංසනයට පත් වෙනවා. ශාරීරික දඬුවම් නිසා ඇතිවන කෙටි කාලීන සහ දිගු කාලීන හානිය නිසා 2025 අගෝස්තු මාසයෙදි ලෝක සෞඛ්‍ය සංවිධානය මෙය බරපතල මහජන සෞඛ්‍ය ප්‍රමුඛතාවයක් ලෙස ප්‍රකාශයට පත් කලා. අපේ යාලුවන්ව තව දුරටත් අවදානමට ලක් කිරීම සාධාරණ නැති බව ඔබ එකඟ වෙනවා ඇති.
ශාරීරික දඬුවම් තහනම් කිරීම අපේ රටේ හැමෝටම සහ ඉදිරි පරම්පරාවන්ට විශාල ධනාත්මක බලපෑමක් ඇති කරාවි. සියලුම දරුවන්ට පහර කෑමට, තුවාල වීමට හෝ වෙනත් ආකාරයකින් හිංසනයට ලක්වීමට ඉඩ නොතැබිය යුතු බව අපි ප්‍රාර්ථනා කරනවා.
අපි ශාරීරික දඬුවම්වලින් නිදහස් හින්දා ඒ ගැන විවෘතව කතා කරන්න පුළුවන්. ඒත් යාළුවන්ගෙ සහ නෑදෑයින්ගෙ අත්දැකීමෙන් අපි දන්නවා ගොඩක් ළමයින් එහෙම කතා කරන්න බයයි. ඒ නිසා, 2024 ලබාදුන් පොරොන්දු වගවීමෙන් ඉටු කරන ලෙස, ශ්‍රී ලංකාවෙ සියලුම දරුවන් වෙනුවෙන් අපි ඔබට මතක් කර සිටිනවා.
ස්තූතියි,
මෙයට විශ්වාසි,
සහිල් මනාන් (අවුරුදු 11) සහ ශෂ්‍යනූ දීඝායු මුණසිංහ (අවුරුදු 10)



