𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

එමිරේට්ස් ගුවන් සේවය අගෝස්තු සිට කොළඹ වෙත A350 ගුවන් යානා සේවා දෙගුණ කරයි

එමිරේට්ස් ගුවන් සමාගම අගෝස්තු 8 වැනිදා සිට ඩුබායි සහ කොළඹ අතර සිය දෙවන දෛනික A350 ගුවන් සේවාව ආරම්භ කරන බව නිවේදනය කර ඇත. ඒ අනුව, මෙම ගුවන් ගමන සඳහා මෙතෙක් යොදාගෙන තිබූ බොයිං 777 ගුවන් යානය වෙනුවට A350 ගුවන් යානය යොදවන අතර මෙයින් මගීන්ට එමිරේට්ස් හි නවතම පරම්පරාවේ ගුවන් යානය සහ ඉහළ ඉල්ලුමක් පවතින  ප්‍රිමියම් ඉකොනොමි සේවාව අත්විඳීමට තවත් අවස්ථාවක් හිමි වේ.

නව A350 ගුවන් යානය එමිරේට්ස් හි EK648/649 ගුවන ගමන් සඳහා යෙදවීමත් සමඟ ඩුබායි සහ ශ්‍රී ලංකාව කොළඹ අතර ප්‍රිමියම් ඉකොනොමි පන්තියේ ආසන සංඛ්‍යාව දෙගුණ වන අතර, ශ්‍රී ලංකාවට සහ ශ්‍රී ලංකාවෙන් ගමන් කරන මගීන්ට වඩාත් සුවපහසු සහ උසස් ගමන් අත්දැකීමක් ලබාදීම සඳහා එමිරේට්ස් දක්වන කැපවීම තවදුරටත් තහවුරු කරයි. දැනට එමිරේට්ස් දිනපතා ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් හතරක් ක්‍රියාත්මක කරන අතර, ඒ සඳහා A350 සහ බොයිං 777 ගුවන් යානා භාවිත කරයි.

එමිරේට්ස් හි දෙවන A350 ගුවන් සේවාව දිනපතා පස්වරු 4.10ට ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් පිටත්ව රාත්‍රී 10.10ට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා වේ. EK649 ගුවන් ගමන අලුයම 2.55ට කොළඹින් පිටත්ව උදෑසන 5.50ට ඩුබායි වෙත ළඟා වන අතර, සඳහන් සියලු වේලාවන් දේශීය වේලාවන් වේ.

එමිරේට්ස් හි සම්මානලාභී ප්‍රිමියම් ඉකොනොමි කැබින් සේවාව මෙම A350  ගුවන් යානයේ ප්‍රධාන ආකර්ෂණීය අංගයක් වන අතර, එය දැනටමත් මගීන් අතර ඉතා ජනප්‍රිය සේවාවක් බවට පත්ව ඇත. පිළිගැනීමේ පානයක්, එක් එක් සමය හා සබැඳි ආහාර මෙනුවක්, සුවිශේෂී ආයිත්තම් කට්ටලයක්, පරිසර හිතකාමී ද්‍රව්‍යවලින් නිපදවූ බ්ලැන්කට්ටුවක් සහ විශාල කොට්ටයක් ඇතුළු සෑම පහසුකමක්ම මගීන්ගේ සුවපහසුව සැලකිල්ලට ගනිමින් සකස් කර ඇත. එමෙන්ම, ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ වෙන් කළ ප්‍රවේශ වීමේ ප්‍රදේශය,ගුවන් යානයට ගොඩවීමට ප්‍රමුඛතාවය සහ කිලෝග්‍රෑම් 35 දක්වා ගමන් මලු රැගෙන යාමේ අවස්ථාව ද  ප්‍රිමියම් ඉකොනොමි මගීන්ට හිමි වේ.

මෙම දෙවන දෛනික A350 සේවාව හඳුන්වාදීම, 2025 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට A350 ගුවන් යානය ප්‍රථම වරට හඳුන්වා දෙමින් ප්‍රිමියම් ඉකොනොමි සේවාව හඳුන්වාදීමේ සාර්ථකත්වය මත ගොඩනැගුණු තවත් වැදගත් පියවරකි. මෙය ශ්‍රී ලංකාව කෙරෙහි එමිරේට්ස් දක්වන අඛණ්ඩ ආයෝජනය සහ විශ්වාසය ද පිළිබිඹු කරයි.

මෙම වසරේදී ශ්‍රී ලංකාවෙහි සිය මෙහෙයුම්වල 40 වැනි සංවත්සරය සමරන එමිරේට්ස්, ලොව පුරා ගමනාන්ත 140කට ආසන්න ජාලයක් සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ කරමින් සංචාරක කර්මාන්තය සහ වෙළෙඳාම ශක්තිමත් කිරීමට දායක වෙයි.

උපුටා ගැනීම : අද දෙරණ