𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

Evolution Auto සමාගම වෙතින් භාවිතා කළ වාහන මිලදී ගැනීමට, විකිණීමට සහ නවීකරණය කර ගැනීම සඳහා විසඳුමක් ලෙස Auto Direct සේවාව හදුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන (EV) සඳහා බලයලත් බෙදාහරින්නා වන Evolution Auto සමාගම විසින් වාහන මිලදී ගැනීම, විකිණීම සහ හුවමාරු කිරීමේ (trade-in) සේවාවන් එකම ස්ථානයකින් සපුරාගත හැකි ‘Auto Direct’ සුවිශේෂී වේදිකාව (platform) නිල වශයෙන් හදුන්වා දී ඇත. අභියෝගාත්මක මෝටර් රථ වෙළඳපොළක් පවතින වර්තමාන වටපිටාව තුළ, ශ්‍රී ලාංකික වාහන හිමියන් වෙත විධිමත් සහ විනිවිදභාවයකින් යුත් විකල්ප විසඳුමක් ලබා දීම මෙහි අරමුණයි.

මිල මට්ටම්වල පවතින අස්ථාවරත්වය, වෙළඳපොළෙහි සිදුවන සීඝ්‍ර වෙනස්වීම් සහ මිලදී ගන්නන්ගේ විශ්වාසය බිඳ වැටීම හේතුවෙන් පෙට්‍රල්, ඩීසල් සහ hybrid වාහන හිමියන් රැසක් තමන්ගේ වාහන විකුණා ගැනීමට නොහැකිව දැඩි දුෂ්කරතාවලට මුහුණ දී සිටිති. මෙම ගැටලුවලට සාර්ථක විසඳුමක් ලබා දෙමින් අතරමැදියන් හෝ තැරැව්කරුවන්ගෙන් තොරව සෘජුවම ගනුදෙනු කළ හැකි Auto Direct සෘජු ගනුදෙනු ආකෘතිය (Direct transaction model) හඳුන්වා දී ඇත.   

මෙම වේදිකාව මඟින් පාරිභෝගිකයන්ට තමන් සතු වාහන ලබාදී නවතම මාදිලියක වාහනයක් ලබා ගැනීමට, මැනවින් පරීක්ෂා කරන ලද භාවිතා කළ වාහන මිලදී ගැනීමට හෝ තමන් සතු වාහන විකිණීමට අවස්ථාව හිමිවෙයි. Auto Direct මඟින් ඉදිරිපත් කෙරෙන සෑම වාහනයකම වෙළඳපොළ වටිනාකම තක්සේරු කිරීම, හිමිකම තහවුරු කිරීම සහ නඩත්තු වාර්තා පරීක්ෂා කිරීම ඇතුළු පුළුල් හා සවිස්තරාත්මක පරීක්ෂණ ක්‍රියාවලියකට යොමු කරනු ලබයි.

මෙම සේවාව පිළිබඳව අදහස් දක්වමින් Evolution Auto සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී විරාන් ද සොයිසා මහතා පැවසූවේ, “මීට වසර කිහිපයකට පෙර පැවති තත්ත්වයට සාපේක්ෂව, වර්තමානයේ වාහන හිමියන්ට මුහුණ දීමට සිදුව ඇත්තේ බෙහෙවින් සංකීර්ණ වෙළඳපොළකටයි. තමන්ට විශ්වාසනීය ලෙස ගනුදෙනු කළ හැකි ගැනුම්කරුවන් සොයා ගැනීමට හෝ තමන්ගේ වාහනයට සාධාරණ වටිනාකමක් ලබා ගැනීමට බොහෝ දෙනෙකුට අද වන විට අපහසු වී තිබෙනවා. එම ගැටලුවට විසඳුමක් ලෙසයි අප ‘Auto Direct’ හඳුන්වා දුන්නේ. අපගේ මෙම වේදිකාව සතු විනිවිදභාවයකින් යුත් වටිනාකම් තක්සේරු කිරීමේ ක්‍රියාවලිය, තත්ත්වය සහතික කරන ලද වාහන සහ සෘජු ගනුදෙනු හේතුවෙන් පාරිභෝගිකයන්ට දැන් වඩාත් විශ්වාසදායක ලෙස වාහන මිලදී ගැනීමට, විකිණීමට හෝ හුවමාරු කර ගැනීමට අවස්ථාව ලැබෙනවා.” යනුවෙනි.

මෙම වේදිකාව මඟින් ඉහළ පෙළේ විද්‍යුත් වාහන වැනි වඩාත් දියුණු මෝටර් රථ තාක්ෂණයන් වෙත යොමු වීමට බලාපොරොත්තු වන පාරිභෝගිකයන්ට එම කටයුතු ඉතා පහසුවෙන් සිදු කරගත හැකිය. මෙහි පවතින විධිමත් වාහන හුවමාරු කිරීමේ ක්‍රියාවලිය හේතුවෙන්, පාරිභෝගිකයන්ට තමන් සතු වාහන ලබා දී Evolution Auto සමාගම මෙරටට ගෙන්වනු ලබන Avatr, IM Motors, Xpeng, Riddara සහ KYC වැනි ලොව ප්‍රමුඛ පෙළේ සන්නාමයන්හි නවතම වාහන වෙත පහසුවෙන්ම යොමු විය හැක.

අතරමැදියන් කිහිපදෙනෙකු සම්බන්ධ වන සාම්ප්‍රදායික වාහන ගනුදෙනු ක්‍රමවේදයන් මෙන් නොව Auto Direct මගින් සමස්ත ක්‍රියාවලිය සෘජුවම කළමනාකරණය කරනු ලබයි. එමඟින්, වාහන වටිනාකම තක්සේරු කිරීමේ සිට මිලදී ගැනීම හෝ හුවමාරු කිරීම දක්වා වූ සියලුම සේවාවන් එකම ස්ථානයකින් විශ්වාසනීය ලෙස සපුරා ගැනීමට පාරිභෝගිකයාට අවස්ථාව හිමි වේ.

Auto Direct සේවාව මඟින් Evolution Auto සමාගම වාහන විකිණීම පමණක් නොව පාරිභෝගික පහසුව, සාධාරණ මිලකරණය සහ විනිවිදභාවය මත පදනම් වූ පරිපූර්ණ වාහන හිමිකාරිත්ව පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමට කටයුතු කර ඇත.

මේ පිළිබඳ වැඩි විස්තර සඳහා evautodirect.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.  නැතහොත් 0777 553 355 දුරකථන අංකය අමතන්න.

END