𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

මෙඩිහෙල්ප් කිරිිබත්ගොඩට යළි පැමිණෙයි

නව සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයක් සමඟ ප්‍රදේශයේ ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක්

Medihelp Hospitals ශ්‍රී ලංකාවේ වේගයෙන් ව්‍යාප්ත වන පෞද්ගලික සෞඛ්‍ය සේවා ජාලයක් ලෙස වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් කිරිිබත්ගොඩ නව ශාඛාව විවෘත කළේය. මෙම නව සෞඛ්‍ය මධ්‍යස්ථානය ඇරැඹීමෙන් ප්‍රදේශවාසීන්ට ගුණාත්මක, විශ්වාසදායක හා පහසු සෞඛ්‍ය සේවා තව දුරටත් සමීප කිරීමට මෙඩිහෙල්ප් සමත් වී ඇත. කොළඹ සහ කළුතර දිස්ත්‍රික්ක තුළ සිය සෞඛ්‍ය සේවා ජාලය ශක්තිමත් කර ගෙන යන මෙඩිහෙල්ප් සිය කිරිබත්ගොඩ ශාඛාව විවෘත කිරීම උතුරු කොළඹ කළාපය වෙත සිදු කරන විශේෂ ව්‍යාප්තියක් ලෙස සැළැකේ. වාණිජ හා නේවාසික වශයෙන් වේගයෙන් සංවර්ධනය වන කිරිිබත්ගොඩ ප්‍රදේශයේ පුළුල් පෞද්ගලික සෞඛ්‍ය සේවා අවශ්‍යතාවක් දිගු කාලීනව පැවති අතර එම අවශ්‍යතාවට පිළිතුරක් ලෙස මෙම නව මධ්‍යස්ථානය විවෘත කර ඇත. මෙහි OPD, ETU, චැනලින් සේවා, රසායනාගාර පරීක්ෂණ, රේඩියෝලොජි, අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන්, එකෝකාඩියෝග්‍රැෆි ඇතුළු සෞඛ්‍ය සේවා රැසක් සපයයි. රෝගීන්ගේ පහසුව හා කාර්යක්ෂමතාව මූලික කර ගනිමින් නවීන පහසුකම් සහිතව මෙම මධ්‍යස්ථානය සැළැසුම් කර ඇත.

මෙම ශාඛාව විවෘත කිරීමේ උත්සවය ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවි බල ගැන්වීමේ අමාත්‍ය  ආචාර්ය උපාලි පන්නිලගේ සහ කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ආචාර්ය සඳුන් යාපා කරුණාරත්න මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර මෙඩිහෙල්ප් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය, ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ ආරාධිත අමුත්තෝ රැසක්ද එම අවස්ථාවට එක් වූහ. උත්සවයේ විශේෂ අවස්ථාවක් වූයේ මෙඩිහෙල්ප් ආයතනයේ නිර්මාතෘ සහ සභාපති ලෙස්ලි විජේසිරිවර්ධන මහතාගේ අදහස් දැක්වීමයි. 1979දී මෙඩිහෙල්ප් ආරම්භ වූයේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ රසායනාගාරයක් ලෙස බවත්, පසුව 1985දී හොරණට ව්‍යාප්ත වූ බවත් ඔහු සඳහන් කළේය. එබැවින් මෙම නව ශාඛාව විවෘත කිරීම මෙඩිහෙල්ප් ආයතනයේ උපන් බිම වෙත ආපසු පැමිණීමක් බවද ඔහු පෙන්වා දුන්නේය. මෙඩිහෙල්ප් සමූහයේ කළමනාකරණ අධ්‍යක්ෂ චන්දික විජේසිරිවර්ධන මහතා සඳහන් කළේ ගුණාත්මක සෞඛ්‍ය සේවාව භූගෝලීය සීමා මත තීරණය නොවිය යුතු බවත්, ජනතාවට අවශ්‍ය මොහොතේ ඔවුන්ට සමීපව සහ පහසුවෙන් එය ගත හැකි විය යුතු බවත්ය. කිරිබත්ගොඩ ශාඛාව විවෘත කිරීමත් සමඟ ගම්පහ දිස්ත්‍රික්කයේ තවත් ප්‍රදේශ කිහිපයකට විශේෂයෙන් කඩවත වැනි ප්‍රදේශවලටද මෙඩිහෙල්ප් සිය සෞඛ්‍ය සේවා ජාලය ව්‍යාප්ත කිරීමට සැළැසුම් කර ඇති බව අනාවරණය කෙරිණි.

උපුටා ගැනීම : අද දෙරණ