𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

2025/26 මූල්‍ය වර්ෂයේ ආදායම රු. බිලියන 16 ඉක්මවමින් සහ ලාභය 194%කින් ඉහළ යමින් සියෙරා කේබල්ස්, ශ්‍රී ලංකා කේබල් කර්මාන්තයේ ප්‍රමුඛත්වය තවදුරටත් තහවුරු කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කේබල් නිෂ්පාදකයා සහ LOLC සමූහයේ සාමාජිකයෙකු වන සියෙරා කේබල්ස් පීඑල්සී, 2026 මාර්තු 31 වන දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා වාර්තාගත මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරමින් ආදායම සහ ලාභදායීතාව යන දෙඅංශයේම කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇත. මෙම ප්‍රතිඵල මගින් ජාත්‍යන්තර වෙළෙඳපොළවල සමාගමේ ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් වන අතර දේශීය බෙදාහැරීම් ජාලයද තවදුරටත් පුළුල් වී ඇති බව පිළිබිඹු වේ.

සමාගම විසින් රුපියල් බිලියන 16ක ආදායමක් වාර්තා කර ඇති අතර එය පෙර මූල්‍ය වර්ෂයට සාපේක්ෂව 73%ක වර්ධනයක් නියෝජනය කරයි. එසේම ශුද්ධ ලාභය රුපියල් බිලියන 2.7 දක්වා ඉහළ ගොස් ඇති අතර එය වාර්ෂිකව 194%ක කැපී පෙනෙන වර්ධනයකි. මෙහෙයුම් ලාභයද රුපියල් බිලියන 3 ඉක්මවා ගොස් පෙර වසරට සාපේක්ෂව 119%කට වැඩි වර්ධනයක් වාර්තා කර ඇත. කොටසකට ලාභය (EPS) රුපියල් 4.95 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පෙර වසරේ රුපියල් 1.68 සමඟ සසඳන විට සමාගමේ ශක්තිමත් මෙහෙයුම් කාර්යසාධනය සහ කොටස් හිමියන් සඳහා නිර්මාණය කරන වටිනාකම තවදුරටත් ඉහළ නැංවීමක් ලෙස සැලකේ.

මෙම විශිෂ්ට කාර්යසාධනය සඳහා ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ ප්‍රධාන වෙළෙඳපොළ අංශයන්හි ශක්තිමත් ඉල්ලුම, නිෂ්පාදන කාර්යක්ෂමතාව ඉහළ යාම, නිෂ්පාදන ධාරිතාව වැඩි වශයෙන් භාවිත කිරීම, අපනයන ආදායම ඉහළ යාම සහ නිෂ්පාදන නවෝත්පාදන, ගුණාත්මකභාවය සහ මෙහෙයුම් විශිෂ්ටත්වය සඳහා සිදුකළ අඛණ්ඩ ආයෝජනයන් වේ.

මෙම ප්‍රතිඵල, FY2024/25 මූල්‍ය වර්ෂයේදී සමාගම අත්කරගත් රුපියල් බිලියන 9.26ක ආදායම සහ රුපියල් මිලියන 903ක බදු පසු ලාභය යන එවකට වාර්තාගත ප්‍රතිඵල අභිබවා ගොස් ඇත. FY2025/26 ප්‍රතිඵල සමාගමේ දිගුකාලීන වර්ධන උපායමාර්ගයේ සාර්ථකත්වය තහවුරු කරන අතර ශ්‍රී ලංකාවේ වඩාත්ම සාර්ථක නිෂ්පාදන ආයතන අතරින් එකක් ලෙස එහි ස්ථානය තවදුරටත් ශක්තිමත් කරයි.

සියෙරා කේබල්ස් හි මෙම වාර්තාගත කාර්යසාධනය පිටුපස පැහැදිලි උපායමාර්ගික දිශානතියක්, ශක්තිමත් නායකත්වයක් සහ සාර්ථක ව්‍යාපාර පරිවර්තනයක් පවතී. විධායක අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී හර්ෂ ජයතුංග මහතාගේ නායකත්වය සහ සභාපති ඉෂාර නානායක්කාර මහතාගේ උපායමාර්ගික මගපෙන්වීම යටතේ සමාගම සිය මෙහෙයුම් හැකියාවන් ශක්තිමත් කරමින්, ජාත්‍යන්තර පැවැත්ම පුළුල් කරමින් සහ තරඟකාරීත්වය ඉහළ නංවා ඇත.

2022 වසරේදී Browns Investments හි සහකාර සමාගමක් බවටත්, 2025 වසරේදී අනුබද්ධ සමාගමක් බවටත් පත්වීමෙන් අනතුරුව, සියෙරා කේබල්ස් ශක්තිමත් පාලන ව්‍යුහයක්, උපායමාර්ගික ආයෝජන සහ අවධානය යොමු කළ වර්ධන උපායමාර්ගයක ප්‍රතිලාභ ලබා ඇත. මෙම පියවරයන් සමාගමේ මූල්‍ය පුනර්ජීවනයට ප්‍රබල දායකත්වයක් ලබා දී ඇති අතර ශ්‍රී ලංකාවේ සාර්ථකම නිෂ්පාදන ආයතන අතරින් එකක් බවට පත් කිරීමට හේතු වී ඇත. 2022 වසරේ සිට 2026 මාර්තු 31 දක්වා කාලය තුළ මෙහෙයුම් ලාභය රුපියල් බිලියන 1.1 සිට රුපියල් බිලියන 3.0 දක්වා 186%කින් වර්ධනය වී ඇති අතර, බදු පසු ලාභය රුපියල් මිලියන 472 සිට රුපියල් බිලියන 2.7 දක්වා 464%කින් ඉහළ ගොස් ඇත.

සමාගමේ වර්ධනයට ප්‍රධාන දායකත්වයක් ලබා දී ඇත්තේ ගිනි ආරක්ෂණ ගුණාංගවලින් යුත් ඉහළ කාර්ය සාධනයක් සහිත කේබල් විසඳුම් සඳහා වැඩිවෙමින් පවතින වෙළෙඳපොළ ඉල්ලුමයි. ගෘහස්ථ, වාණිජ, කාර්මික සහ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිවල ආරක්ෂණ ප්‍රමිතීන් වඩ වඩාත් දැඩි වන පසුබිමක, සියෙරා කේබල්ස් විසින් ගිනි ප්‍රතිරෝධී සහ ගිනි ප්‍රමාදක කේබල් විසඳුම් තවදුරටත් ශක්තිමත් කර ඇත. මෙම නිෂ්පාදන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල කේබල් විසඳුම් අපේක්ෂා කරන ඉංජිනේරුවන්, උපදේශකයින්, කොන්ත්‍රාත්කරුවන් සහ සංවර්ධකයින් අතර වැඩි පිළිගැනීමක් ලබාගෙන ඇත.

ඇමෙරිකා එක්සත් ජනපද වෙළෙඳපොළ වෙත අඛණ්ඩව ව්‍යාප්ත වීම හරහා සමාගම සිය අපනයන ගමනේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත. ගෝලීය නිෂ්පාදන ක්ෂේත්‍රයේ විශ්වාසය ගොඩනැගෙන්නේ ප්‍රමිතීන් මත වන අතර, ශ්‍රී ලංකාවේ කිසිදු වෙනත් කේබල් නිෂ්පාදකයෙකුට නොමැති සුවිශේෂීත්වයක් සියෙරා කේබල්ස් සතුව ඇත. සමාගම UL 44 සහ UL 854 යන ජාත්‍යන්තරව පිළිගත් සහතික දෙකම ලබාගත් ශ්‍රී ලංකාවේ එකම කේබල් නිෂ්පාදකයා වේ. මෙම සහතික මඟින් සමාගමේ නිෂ්පාදනවල ආරක්ෂාව, ගුණාත්මකභාවය, විශ්වසනීයත්වය සහ කාර්යසාධනය තහවුරු කරයි.

මෙම ජාත්‍යන්තරව පිළිගත් සහතික නිසා සියෙරා කේබල්ස් හට ලොව ඉතාමත් දැඩි තත්ත්ව පාලන අවශ්‍යතා ඇති වෙළෙඳපොළක් ලෙස සැලකෙන ඇමෙරිකා එක්සත් ජනපද වෙළෙඳපොළට නිෂ්පාදන සැපයීමට හැකි වී ඇති අතර, එම වෙළෙඳපොළට සාර්ථකව අපනයනය කරන ශ්‍රී ලංකාවේ එකම කේබල් නිෂ්පාදකයා බවටද පත්ව ඇත.

මෙම ජයග්‍රහණය දකුණු ආසියානු කේබල් නිෂ්පාදකයන් හමුවේ සියෙරා කේබල්ස් හට සුවිශේෂී ස්ථානයක් ලබා දී ඇති අතර, ජාත්‍යන්තර වෙළෙඳපොළවල තරඟකාරීත්වය වැඩිදියුණු කිරීමට සහ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඉහළ නැංවීමටද දායක වී ඇත. ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු ජාත්‍යන්තර වෙළෙඳපොළවල මෙම වර්ධනය සමාගමේ ගෝලීය තරඟකාරීත්වය සහ සහතික කළ නිෂ්පාදන පරාසයේ විශ්වසනීයත්වය තහවුරු කරයි.

මෙම අපනයන සාර්ථකත්වය සමාගමේ මූල්‍ය ප්‍රතිඵලවලින්ද පැහැදිලිව පිළිබිඹු වේ. අපනයන ආදායම වසරින් වසර 345%කින් වර්ධනය වී රුපියල් බිලියන 1.1 සිට රුපියල් බිලියන 5 දක්වා ඉහළ ගොස් ඇති අතර, සමස්ත ආදායමෙන් 31%ක් අපනයන හරහා ලැබී ඇත.

දේශීය වෙළෙඳපොළ තුළද සියෙරා කේබල්ස් සිය අලෙවි නියෝජිත සහ බෙදාහැරීම් ජාලය තවදුරටත් පුළුල් කරමින් වෙළෙඳපොළ නායකත්වය ශක්තිමත් කර ඇත. උපායමාර්ගික අලෙවි නියෝජිත හවුල්කාරිත්වයන්, නාලිකා සම්බන්ධතා වැඩසටහන් සහ පාරිභෝගික සේවා ශක්තිමත් කිරීම හරහා නාගරික හා ප්‍රාදේශීය වෙළෙඳපොළවල නිෂ්පාදන ලබාගැනීමේ පහසුව තවදුරටත් ඉහළ නංවා ඇත.

මෙම පුළුල් කළ බෙදාහැරීම් ජාලය විකුණුම් වර්ධනයට මෙන්ම පාරිභෝගික අවශ්‍යතාවන්ට ඉක්මන් ප්‍රතිචාර දැක්වීමටද සමාගමට ඉවහල් වී ඇත. උසස් ගුණාත්මකභාවය, විශ්වසනීයත්වය සහ විශිෂ්ට සේවාව සඳහා ඇති කීර්තිය මත පදනම්ව, සියෙරා කේබල්ස් තවදුරටත් කොන්ත්‍රාත්කරුවන්, සංවර්ධකයින්, උපදේශකයින් සහ පාරිභෝගිකයන්ගේ ප්‍රමුඛතම කේබල් සන්නාමය ලෙස සිය ස්ථානය ශක්තිමත් කරමින් සිටී.

සමාගමේ කාර්යසාධනය පිළිබඳ අදහස් දක්වමින් විධායක අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී හර්ෂ ජයතුංග මහතා පැවසුවේ, නවෝත්පාදනය, ගුණාත්මක විශිෂ්ටත්වය, මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ වෙළෙඳපොළ ව්‍යාප්තිය මත පදනම් වූ තිරසාර වර්ධනයක් අත්කර ගැනීම සඳහා සියෙරා කේබල්ස් අඛණ්ඩව කැපවී සිටින බවයි. උසස් නිෂ්පාදන තාක්ෂණය, ජාත්‍යන්තර සහතික ලත් නිෂ්පාදන සහ උපායමාර්ගික වෙළෙඳපොළ සංවර්ධන වැඩසටහන් සඳහා අඛණ්ඩව ආයෝජනය කරන බවද ඔහු සඳහන් කළේය.

ශක්තිමත් මූල්‍ය පදනමක්, ජාත්‍යන්තරව පිළිගත් නිෂ්පාදන, වර්ධනය වන අපනයන පැවැත්මක් සහ රට පුරා පුළුල් බෙදාහැරීම් ජාලයක් සමඟින්, සියෙරා කේබල්ස් 2026/27 මූල්‍ය වර්ෂයට පිවිසෙන්නේ තවත් වර්ධන අවස්ථා රැසක් ඉලක්ක කරගනිමිනි.

ගෝලීය තරඟකාරී කේබල් විසඳුම් සපයන්නෙකු බවට පත්වීමේ සිය පරිවර්තනීය ගමන අඛණ්ඩව ඉදිරියට ගෙන යමින්, සියෙරා කේබල්ස් ලෝක මට්ටමේ නිෂ්පාදන සැපයීම, සියලු පාර්ශ්වකරුවන් සඳහා දිගුකාලීන වටිනාකමක් නිර්මාණය කිරීම සහ ශ්‍රී ලාංකීය නිෂ්පාදන විශිෂ්ටත්වය ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත රැගෙන යාම සඳහා අඛණ්ඩව කැපවී සිටී.

උපුටා ගැනීම : අද දෙරණ