𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

ශ්‍රී ලංකාවේ ලුහු ඉංජිනේරු නිෂ්පාදන අපනයන ක්ෂේත්‍රය නංවාලීම සඳහා නව වැඩසටහනක්

ශ්‍රී ලංකාවේ ලුහු ඉංජිනේරු නිෂ්පාදන කර්මාන්තයේ අපනයන තරඟකාරිත්වය ඉහළ නැංවීමේ අරමුණින්, අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) කාර්මික නිෂ්පාදන අංශය මගින් සංවිධානය කරන ලද සුවිශේෂී දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා කොළඹ පිහිටි අපනයන සංවර්ධන මණ්ඩලයේදී ආරම්භ විය.

මෙම වැඩසටහන වාත්තු කර්මාන්ත හා සේවා ආයතනය (FDSI) සහ රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන අතර, මෙය ලුහු ඉංජිනේරු ක්ෂේත්‍රයේ නියැලී සිටින වත්මන් සහ විභව අපනයනකරුවන් ඉලක්ක කර ගනිමින් සංවිධානය කර ඇත.

ගෝලීය නිෂ්පාදන ක්ෂේත්‍රයේ පවතින තරඟකාරිත්වයට මුහුණ දීම සඳහා වඩාත් ප්‍රායෝගික සහ තාක්ෂණික දැනුමකින් යුත් වැඩසටහනක් අවශ්‍ය බවට ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන් මෙය නිර්මාණය කර ඇත.

මෙම පුහුණු වැඩසටහන ප්‍රධාන අංශ දෙකක් යටතේ ප්‍රධාන ක්ෂේත්‍ර 19ක් ආවරණය කරයි. එහි පළමු අංශය වන අපනයන සහ ව්‍යාපාරික අංශය යටතේ ගෝලීය වෙළඳපල අවස්ථා, උපායමාර්ගික වාත්තු තාක්ෂණය සහ නිෂ්පාදන සංවර්ධනය සඳහා ‘සිමියුලේෂන්’ (Simulation) වැනි නවීන මෘදුකාංග භාවිතය පිළිබඳව අවධානය යොමු කෙරේ. මීට අමතරව, බලශක්ති කාර්යක්ෂමතාව, ජාත්‍යන්තර පරීක්ෂණ ප්‍රමිතීන්, හරිත නිෂ්පාදන ක්‍රියාවලීන් සහ තිරසාර නිෂ්පාදන භාවිතයන් පිළිබඳව ද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කරනු ලබයි.

වැඩසටහනේ දෙවන අංශය වන තාක්ෂණික අංශය රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව සහ වාත්තු කර්මාන්ත හා සේවා ආයතනය පරිශ්‍රයන්හිදී පවත්වනු ලබන අතර එහිදී අච්චු සකස් කිරීමේ තාක්ෂණය (Pattern-making), ලෝහ උණු කිරීමේ සහ වාත්තු කිරීමේ ක්‍රියාවලීන් පිළිබඳව ප්‍රායෝගික පුහුණුව ලබා දෙයි. මෙම අදියරේදී නිෂ්පාදන දෝෂ හඳුනා ගැනීම සහ ඒවා පිළිසකර කිරීම, නවීන වාත්තු මෙහෙයුම්, පරිසර දූෂණ පාලන පියවර සහ තත්ත්ව සහතික කිරීමේ පද්ධති පිළිබඳව සහභාගිවන්නන්ට මනා අවබෝධයක් ලබා දෙනු ඇත

නූතන ලෝකයේ යුරෝපීය සහ ආසියානු වෙළඳපලවල් වෙත ප්‍රවේශ වීමේදී පරිසර හිතකාමී නිෂ්පාදන ක්‍රියාවලීන් සහ පරිසර දූෂණ පාලනය අත්‍යවශ්‍ය සාධක බවට පත්ව ඇත. එම අවශ්‍යතාවය හඳුනා ගනිමින්, පරිසර තිරසාරත්වය සහ ගුණාත්මක තත්ත්ව සහතිකකරණය (Quality Assurance) පිළිබඳ සැසි මෙයට ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.

මෙම වැඩසටහනේ ප්‍රතිඵල මත පදනම්ව ඉදිරියේදී සමස්ත ඉංජිනේරු නිෂ්පාදන අපනයන ක්ෂේත්‍රයම ආවරණය වන පරිදි තවත් ධාරිතා වර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලය සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකාවේ ලුහු ඉංජිනේරු නිෂ්පාදන අපනයන ආදායම 2025 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 205ක් වන අතර, එය 2030 වන විට මිලියන 400 දක්වා ඉහළ නැංවීමට සැලසුම් සකස් කර ඇත.

ජායාරූපයේ වමේ සිට

  • මනොජා දිසානායක මහත්මිය – අධ්‍යක්ෂ, කාර්මික සංවර්ධන අංශය, අපනයන සංවර්ධන මණ්ඩලය.
  • කුමුදුනී මුදලිගේ මහත්මිය – අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (සංවර්ධන), අපනයන සංවර්ධන මණ්ඩලය.
  • මෙල්වින් සමරසිංහ මහතා – සභාපති, වාත්තු කර්මාන්ත හා සේවා ආයතනය.
  • මංගල විජේසිංහ මහතා – සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී, අපනයන සංවර්ධන මණ්ඩලය.
  • පද්මසිරි ශ්‍රි නාරායන මහතා – අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව.
  • ඒස් පී ගුල්විට මහතා – ජේෂ්ඨ කථිකාචාර්යය, ඉංජිනේරු පීඨය, මොරටුව විශ්වවිද්‍යාලය.

උපුටා ගැනීම : අද දෙරණ