𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

දිට්වා හමුවේ පීඩාවට පත් ජනතාවගේ ජීවිත යළි ගොඩනැගීමට සිංහ සමාජයේ අඛණ්ඩ සහාය

දිට්වා හමුවේ පීඩාවට පත් වූ ප්‍රදේශවල ජනතාව යළි ගොඩනැගීමේ සහන හා ප්‍රතිසාධන වැඩසටහන් සඳහා ඇමෙරිකානු ඩොලර් 500,000කට ආසන්න මුදලක් රැස් කර ගනිමින්, සිංහ ජාත්‍යන්තර බහු මණ්ඩල දිස්ත්‍රික් 306 (Lions International Multiple District 306) දිවයින පුරා ක්‍රියාත්මක වන ප්‍රතිසාධන කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යයි. මෙම අරමුදල් අතරින් සැලකිය යුතු කොටසක් Lions Clubs International Foundation (LCIF) වෙතින් හිමි වූ ආපදා ප්‍රදානයක් ලෙස ලැබී ඇත.

ගංවතුර තත්ත්වය ඇති වූ අවස්ථාවේදීම රට පුරා සිංහ සාමාජිකයින් ක්ෂණිකව ක්‍රියාත්මක වෙමින් ආහාර, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ වෙනත් හදිසි සහන සැපයීමට දායක වූහ. තමන් ද ගංවතුරින් බලපෑමට ලක්ව සිටිය ද, බොහෝ සිංහ සාමාජිකයින් සහන මෙහෙයුම්වල නිරත වීම විශේෂත්වයකි.

LCIF වෙතින් හිමි වූ ප්‍රධාන ආපදා ප්‍රදානයක අනුග්‍රහය යටතේ, නිවාස, පාසල්, රෝහල් සහ ප්‍රජා යටිතල පහසුකම් යළි ගොඩනැගීමේ ව්‍යාපෘති රැසක් මේ වන විට සිංහ සාමාජිකයන් විසින් ක්‍රියාත්මක කර ඇත.

පාසල් සහ පන්ති කාමර ප්‍රතිසංස්කරණය, නිවාස යථා තත්ත්වයට පත් කිරීම, රෝහල් සඳහා වෛද්‍ය උපකරණ සැපයීම, නිවාස සහ පාසල් සඳහා සනීපාරක්ෂක පහසුකම් ඉදිකිරීම, ප්‍රජා ගොඩනැගිලි හා උද්‍යාන ප්‍රතිසංස්කරණය කිරීම මෙන්ම පීඩාවට පත් පවුල් සඳහා සිය දෛනික කටයුතු නැවත ආරම්භ කිරීමට අවශ්‍ය සහය ලබාදීම වැනි ව්‍යාපෘති මේ වන විට සම්පූර්ණ කර හෝ ක්‍රියාත්මක වෙමින් පවතී.

මෙම වැඩසටහන් හරහා ආපදාවෙන් පසු ජනතාවට අත්‍යවශ්‍ය වන නිවාස, අධ්‍යාපන, සෞඛ්‍යය සහ ප්‍රාදේශීය යටිතල පහසුකම් යළි ස්ථාපිත කිරීමට දායක වෙමින්, බලපෑමට ලක් වූ ප්‍රදේශ සාමාන්‍ය තත්ත්වයට කඩිනමින් පත් කිරීමට සිංහ සමාජය සහය ලබා දෙයි.

ප්‍රතිසාධන කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා, විශේෂයෙන් පාසල් යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙහි ද අවධානය යොමු කරමින්, LCIF විසින් අතිරේක අරමුදල් ලබාදීමට ද කැපවී සිටියි.

ශ්‍රී ලංකාවේ ආපදා ප්‍රතිසංස්කරණ සහ යළි ගොඩනැගීමේ කටයුතු සඳහා සහය දැක්වීම වෙනුවෙන් සිංහ සමාජයට දීර්ඝ ඉතිහාසයක් පවතී. 2004 සුනාමි ව්‍යසනය ඇතුළු රට මුහුණ දුන් විශාල ස්වභාවික ආපදා රැසක දී, LCIF හි සහාය ද සමඟ සිංහ සමාජය සහන සහ ප්‍රතිසාධන මෙහෙයුම් සඳහා සක්‍රීයව දායක වී ඇත.

සිංහ සමාජයේ සේවය යනු ගංවතුර ජලය බැස යාමත් සමඟ අවසන් වන කාර්යයක් නොවේ. ප්‍රජාවන් යළි ශක්තිමත් කරමින් ඔවුන්ගේ ජීවිත යථා තත්ත්වයට පත් වන තුරු එම කැපවීම අඛණ්ඩව පවතී.