𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

ශ්‍රී ලංකාවේ උක් ව්‍යාපෘතියට බ්‍රසීලයේ සහාය

වර්තමානයේ මෙරට සීනි අවශ්‍යතාවයෙන් 90%ක් පමණ ආනයනය කරනු ලබන අතර, ඒ සඳහා සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් වැය කිරීමට සිදුව ඇත. දේශීය උක් ක්ෂේත්‍රය තුළ පවතින දුර්වලතා සහ මුහුණ දෙන අභියෝග ජය ගැනීම සඳහා ජාත්‍යන්තර තාක්ෂණික සහයෝගිතාව ලබා ගැනීමේ අවශ්‍යතාවය හඳුනා ගනු ලැබ තිබේ. එම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාවේ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, උක් පර්යේෂණ ආයතනය හා ජාතික විද්‍යා පදනම සහ බ්‍රසීලයේ බ්‍රසීලියානු සහයෝගිතා ඒජන්සිය හා සාඕ කාලෝස් ෆෙඩරල් විශ්වවිද්‍යාලය යන ආයතන එක්ව ‘ශ්‍රී ලංකාවේ උක් ව්‍යාපෘතිය’ නමින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරිම සඳහා සැලසුම් කරනු ලැබ ඇත.

ශ්‍රී ලංකාවේ උක් අස්වැන්න හා සීනි නිෂ්පාදනය වැඩි කිරීම, පුහුණුව හා දැනුම හුවමාරුව තුළින් පාර්ශ්වකරුවන්ගේ තාක්ෂණික ධාරිතාව වැඩිදියුණු කිරීම, අගය එකතු කිරීම හා අතුරු නිෂ්පාදන කාර්යක්ෂමව භාවිතය ප්‍රවර්ධනය කිරීම සහ සීනි නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ ආයතනික ධාරිතාව ශක්තිමත් කිරීම යන කාර්යයන් සඳහා උක් නිෂ්පාදනයේ ගෝලීය ප්‍රමුඛයෙකු ලෙස බ්‍රසීලය සතු විශේෂඥතාව සහ අත්දැකීම් එම ව්‍යාපෘතිය මඟින් මෙරටට ලබා ගැනීමට අපේක්ෂිතය. දෙරට අතර 2008 වර්ෂයේදී අත්සන් තබා ඇති තාක්ෂණික සහයෝගිතා ගිවිසුම් රාමුව යටතේ යෝජිත ව්‍යාපෘතිය මාස 36ක කාලයක් තුළ ක්‍රියාත්මක කිරීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

උපුටා ගැනීම : අද දෙරණ