𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

විදුහල්පති සේවයේ වැටුප් විෂමතා පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභා අනුකමිටුවේදී අවධානය

ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවන වැටුප් විෂමතා පිළිබඳව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පත් කරන ලද අනුකමිටුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

එම අනුකමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡාවට ලක් විය.

මේ සඳහා විදුහල්පති සේවයේ වෘත්තීය සමිති නියෝජිතයින්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීහු සහභාගී වූහ.

ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පිවිසීම උසස්වීමක් ලෙස නොව “නව පත්වීමක්” ලෙස සැලකීම මෙම වැටුප් විෂමතාවට හේතු වී ඇති බව වෘත්තීය සමිති නියෝජිතයෝ පෙන්වා දුන්හ.

ගුරු සේවයේ I ශ්‍රේණියේ සිට විදුහල්පති සේවයේ III ශ්‍රේණියට පත්වීමේදී වැටුප් වර්ධක අතර පවතින සැලකිය යුතු වෙනස හේතුවෙන් මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර වන බව ද ඔවුහු සඳහන් කළහ.

එසේම, විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවන වැටුප් වෙනස පියවීම සඳහා ගැලපුම් දීමනාවක් ලබා දී තිබුණ ද, සේවා කාලය ඉදිරියට යාමේදී ගුරු සේවයේ තවදුරටත් රැඳී සිටියේ නම් හිමි වන ඉහළ වැටුප් වර්ධක නොලැබීම හේතුවෙන් යළිත් වැටුප් පරතරයක් ඇති වන බව ද ඔවුහු පෙන්වා දුන්හ.

මේ හේතුවෙන් ගුරු සේවයේ I සහ  II -I ශ්‍රේණිවල සේවය කරන ජ්‍යෙෂ්ඨ හා පළපුරුදු ගුරුවරුන් විදුහල්පති විභාගයට පෙනී සිටීමට සහ විදුහල්පති සේවයට පිවිසීමට අධෛර්යමත් වන තත්ත්වයක් මතුව ඇති බව ද මෙහිදී අවධාරණය කෙරිණි.

කාරක සභාවට ඉදිරිපත් වූ කරුණු සලකා බලා මේ සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාව වෙත අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව අනුකමිටුවේ සභාපතිවරයා පැවසීය.

මීට අමතරව, විදුහල්පති සේවයේ නියුතු නිලධාරීන් මුහුණ දෙන අනෙකුත් ගැටලු සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සහ ආයතන අධ්‍යක්ෂ ජනරාල් සමග සාකච්ඡා කිරීමට ද අනුකමිටුව විසින් තීරණය කරන ලදී

අද දෙරණ