𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

පළමු මාස 6 තුළ බදු සහන හේතුවෙන් රජයට අහිමිවූ ආදායම ගැන අනාවරණයක්

2026 වසරේ පළමු මාස හය තුළ ලබාදී ඇති විවිධ බදු සහන සහ බදු නිදහස් කිරීම් හේතුවෙන් වක්‍ර බදු වර්ග හතරකට අදාළව රුපියල් බිලියන 461.49ක බදු ආදායමක් අහිමි වී ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති වාර්තාවක් මගින් මේ බව අනාවරණය වී තිබේ.

ඒ අනුව එකතු කළ අගය මත බද්ද, සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද, නිෂ්පාදන බද්ද (විශේෂ විධිවිධාන), රේගු ආනයන බද්ද, යන වක්‍ර බදු 4 තුළින් මෙම බදු ආදායම අහිමි වී ඇත.

අදාළ වාර්තාවට අනුව, 2026 වසරේ පළමු මාස හය තුළ එකතු කළ අගය මත බද්ද (VAT) සම්බන්ධයෙන් ලබාදී ඇති සහන හේතුවෙන් රුපියල් බිලියන 242.95ක ආදායමක් අහිමි වූ බවට ඇස්තමේන්තු කර තිබේ.

මේ අතර, 2026 වසරේ පළමු මාස හය තුළ සමාජ ආරක්ෂණ දායකත්ව බදු සහන හේතුවෙන් රුපියල් බිලියන 135.27ක ආදායමක් ද අහිමි වී ඇති බවට ඇස්තමේන්තු කර තිබේ.

එම කාලසීමාව තුළ රේගු ආනයන බදු සහන හේතුවෙන් රුපියල් බිලියන 74.25ක සහ නිෂ්පාදන (විශේෂ විධිවිධාන) බදු සහන හේතුවෙන් රුපියල් බිලියන 9.02ක ආදායමක් අහිමි වූ බවද මුදල් අමාත්‍යාංශය නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.

ඒ අනුව මෙම වක්‍ර බදු වර්ග හතරට අදාළව 2026 වසරේ පළමු මාස හය තුළ ඇස්තමේන්තු කර ඇති සමස්ත බදු ආදායම් අහිමිවීම රුපියල් බිලියන 461.49කි.

මේ අතර, සංස්ථාපිත ආදායම් බදු සහන හේතුවෙන් අහිමි වූ බවට ඇස්තමේන්තු කර ඇති ආදායම ද ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දී තිබේ.

ඒ අනුව 2023/24 තක්සේරු වර්ෂයේදී රුපියල් බිලියන 119.29ක් වූ සංස්ථාපිත ආදායම් බදු අහිමිවීම 2024/25 තක්සේරු වර්ෂයේදී රුපියල් බිලියන 186.07ක් දක්වා  සියයට 26කින් ඉහළ ගොස් තිබේ.

එමෙන්ම පුද්ගල ආදායම් බදු සහන හේතුවෙන් අහිමි වූ බවට ඇස්තමේන්තු කළ ආදායම 2023/24 තක්සේරු වර්ෂයේදී රුපියල් බිලියන 10.46ක් වූ අතර, 2024/25 තක්සේරු වර්ෂයේදී එම අගය රුපියල් බිලියන 36.28ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අනුව පුද්ගල ආදායම් බදු අහිමිවීම සියයට 246.8කින් ඉහළ ගොස් ඇති බව ද වාර්තාවේ දැක්වේ.

මේ අතර, 2026 වසරේ පළමු මාස හය තුළ දේශීයව එකලස් කරන ලද වාහන සඳහා ලබාදී ඇති නිෂ්පාදන බදු නිදහස් කිරීම් හේතුවෙන් රුපියල් මිලියන 9,005ක බදු ආදායමක් අහිමි වූ බවට ඇස්තමේන්තු කර තිබේ.

එය අදාළ කාලසීමාව තුළ නිෂ්පාදන (විශේෂ විධිවිධාන) බද්දෙන් අහිමි වූ බවට ඇස්තමේන්තු කර ඇති සමස්ත ආදායමෙන් සියයට 99.8කි.

තවද, 2026 වසරේ පළමු මාස හය තුළ රේගු ආනයන බදු අහිමිවීමෙන් සියයට 89.8ක් රේගු ආඥාපනතේ 19(අ) වගන්තිය යටතේ සාමාන්‍ය කාර්යයන් සහ විශේෂ ව්‍යාපෘති සඳහා ලබාදී ඇති බදු සහන හේතුවෙන් සිදුව ඇති බව ද වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

මෙම බදු සහන සහ නිදහස් කිරීම් ආයෝජන ප්‍රවර්ධනය, අපනයන සංවර්ධනය, ආර්ථික වර්ධනය සහ සමාජ ආරක්ෂණය ඇතුළු විවිධ ප්‍රතිපත්තිමය අරමුණු සඳහා ලබාදී ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

කෙසේ වෙතත්, එවැනි සහන ලබාදීම හේතුවෙන් රජයට ලැබිය හැකි බදු ආදායම අඩුවීමක් හෝ කල්දැමීමක් සිදුවන බැවින් ඒවායේ රාජ්‍ය මූල්‍ය බලපෑම සහ ප්‍රතිපත්තිමය ප්‍රතිලාභ අඛණ්ඩව ඇගයීම වැදගත් බව ද අදාළ වාර්තාවේ සඳහන් වේ.