𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ හා විගණන දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ විශේෂ ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන එම්.ආර්.ඒ.ජී.බී. මුතුකුඩේ මහතා, මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ හා විගණන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් වරයා වශයෙන් පත් කර ඇත.

වසර තිහකට ආසන්න සිය දීර්ඝ රාජ්‍ය සේවා කාලය තුළ ඒ මහතා මුදල් අමාත්‍යාංශය යටතේ පවතින කළමනාකරණ විගණන දෙපාර්‌තමේන්තුවේ අධ්‍යක්ෂ හා අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, ශ්‍රී ලංකා රේගු දෙපාර්‌තමේන්තුවේ ප්‍රධාන මූල්‍ය නිලධාරී මෙන්ම ප්‍රමුඛ පෙළේ රාජ්‍ය ආයතන රැසක මුදල් අධ්‍යක්ෂ සහ ගණකාධිකාරී වැනි වගකිවයුතු තනතුරු රැසක් හොබවමින් රාජ්‍ය මූල්‍ය පාලන ක්ෂේත්‍රයෙහි සුවිශේෂී ප්‍රවීණත්වයක් සහ පළපුරුද්දක් අත්කරගෙන ඇති නිලධාරියෙකි.

රජරට විශ්ව විද්‍යාලයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා ගත් මොහු, ශ්‍රී ලංකා සංර්වර්ධන පරිපාලන ආයතනයෙන් (SLIDA) සිය පශ්චාත් උපාධිය ද සාර්ථකව සම්පූර්ණ කරමින් සිය වෘත්තීය සුදුසුකම් සපුරා ඇත.

මීට අමතරව, රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය, මූල්‍ය කළමනාකරණය හා ව්‍යාපෘති කළමනාකරණය යන විෂය පථයන් යටතේ දේශීය වශයෙන් මෙන්ම එක්සත් රාජධානිය, තායිලන්තය, මැලේසියාව සහ චීනය වැනි විදේශීය රටවලින් ද උසස් වෘත්තීය පුහුණු ලබා ඇති ඒ මහතා, ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය තුළ ඉහළ පිළිගැනීමක් සහිත අතිශය කාර්‌යක්ෂම මෙන්ම පළපුරුදු නිලධාරිවරයෙකි.

උපුටා ගැනීම : අද දෙරණ