𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

රොසෙල්, 2026 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී රිදී සම්මානයෙන් පිදුම් ලබයි

පරිසර තිරසාරභාවය සහ වගකීම්සහගත නිෂ්පාදන ක්‍රියාවලිය වෙනුවෙන් දක්වන ලද සුවිශේෂී කැපවීම ඇගයීමට ලක් කරමින්, 2026 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී ‘ඛනිජ ආශ්‍රිත නිෂ්පාදන’ අංශයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය.

පරිසර අමාත්‍යාංශය යටතේ ඇති මධ්‍යම පරිසර අධිකාරිය (CEA) විසින් සංවිධානය කරනු ලබන ජනාධිපති පරිසර සම්මාන උළෙල මඟින්, මෙරට තිරසාර සංවර්ධනය සහ පරිසර සංරක්ෂණය වෙනුවෙන් කැපී පෙනෙන මෙහෙවරක් ඉටුකරන පුද්ගලයින් හා ආයතන ඇගයීමට ලක්කෙරේ. උසස් නිර්මාණකරණය සහ පරිසර සුරක්ෂිතතාව එකට මුසු විය යුතු යැයි යන විශ්වාසය මත පිහිටා, තම නිෂ්පාදන ක්‍රියාවලිය පරිසර හිතකාමී ලෙස පවත්වාගෙන යාමට රොසෙල් දක්වන කැපවීම මෙම අභිමානවත් ඇගයීම හරහා නැවතත් තහවුරු වේ.

මෙම සම්මානය දිනා ගැනීමට හැකිවීම පිළිබඳව අදහස් දක්වමින් Royal Ceramics Lanka PLC හි කළමනාකාර අධ්‍යක්ෂ අරවින්ද පෙරේරා මහතා මෙසේ පැවසීය. “රොසෙල් අපගේ අරමුණ වන්නේ දිගුකාලීන වටිනාකමකින් යුත් විශිෂ්ට මෙන්ම තිරසාර නිෂ්පාදන බිහිකිරීමයි. භාවිතයෙන් පසු ආරක්ෂිතව නැවත සොබාදහමට මුසු වන නිෂ්පාදන හඳුන්වා දෙමින්, ස්වාභාවික සම්පත් වගකීමෙන් යුතුව භාවිත කිරීමට අපි සැමවිටම මුල්තැන දෙනවා. එමෙන්ම, අපගේ නිෂ්පාදන ක්‍රියාවලියේදී අපතේ යන ජලය සහ අපද්‍රව්‍ය 100%ක්ම ප්‍රතිචක්‍රීකරණය කිරීමට අපි කටයුතු කරමින් සිටිනවා. එමඟින් සම්පත් අපතේ යාම අවම කර, ඒවා උපරිම කාර්යක්ෂමතාවයෙන් යුතුව නැවත භාවිත කිරීමට පියවර ගෙන තිබෙනවා.”

පරිසර හිතකාමී වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කරමින්, පුනර්ජනනීය බලශක්ති සහ බලශක්ති කාර්යක්ෂමතා ව්‍යාපෘති සඳහා ද සමාගම නිරන්තරයෙන් ආයෝජනය කරයි. හරිතාගාර වායු විමෝචනය අවම කරමින් වඩාත් පිරිසිදු සහ තිරසාර පරිසරයක් නිර්මාණය කිරීම මෙම උත්සාහයන්හි ප්‍රධාන අරමුණයි.

මෙම රිදී සම්මානය රොසෙල් හි තිරසාර ගමන් මඟෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් වන අතර, නිෂ්පාදන ක්‍රියාවලියට පරිසර හිතකාමී සංකල්ප එක්කිරීමේ වැදගත්කම මනාව පැහැදිලි කරයි. එමෙන්ම, සම්පත් කළමනාකරණය සහ පරිසර සුරක්ෂිතතාව නිරන්තරයෙන් ඉහළ නැංවීමට සමාගම තුළ ඇති කැපවීම ද මෙමඟින් තවදුරටත් තහවුරු වේ. රොසෙල් හි අරමුණ වන්නේ හුදෙක් අලංකාර සහ උසස් නිමාවෙන් යුතු නිෂ්පාදන ලබාදීම පමණක් නොවේ, පරිසරය සුරකිමින් සම්පත් නිසි ලෙස භාවිත කර, අනාගත පරම්පරාව වෙනුවෙන් තිරසාර හෙට දවසක් නිර්මාණය කිරීම ද ඊට ඇතුළත් වේ.