𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

මහජනයාගෙන් ලබා ගන්නා මුදල් භාවිත කරන ආකාරය ගැන කොටස් වෙළෙඳපොළේ නීති දැඩි වෙයි

ලැයිස්තුගත සමාගම් මූලික මහජන කොටස් නිකුතුවලින් (IPO) හෝ වෙනත් ආකාරයක සුරැකුම් නිකුත් කිරීමකින් රැස්කරන අරමුදල් භාවිත කරන ආකාරය පිළිබඳව වඩාත් විස්තරාත්මක සහ විනිවිදභාවයකින් යුත් තොරතුරු හෙළිදරව් කිරීම සඳහා කොළඹ කොටස් වෙළඳපොළ (CSE) විසින් නව සංශෝධිත රාමුවක් හඳුන්වා දී ඇත. සමාගම් විසින් මහජනතාවගෙන් ලබාගන්නා ප්‍රාග්ධනය නිසි පරිදි උපයෝගී කරගන්නේද යන්න තහවුරු කිරීම සහ ආයෝජක විශ්වාසය සුරැකීම මෙහි ප්‍රධාන අරමුණයි.

මෙම නව නීතිරීතිවලට අනුව, සමාගම් තම වාර්ෂික වාර්තා සහ අතුරු මූල්‍ය ප්‍රකාශන හරහා එක් එක් අරමුණු සඳහා වෙන් කරන ලද මුදල්, සැලසුම් කළ දිනයන් සහ සැබෑ ලෙසම උපයෝගී කරගත් මුදල් ප්‍රමාණයන් පිළිබඳව සවිස්තරාත්මක ලේඛනයක් ඉදිරිපත් කළ යුතුය. රැස්කරන ලද අරමුදල් සම්පූර්ණයෙන්ම උපයෝගී කරගත් පසු, එම සියලු මුදල් මුල් සැලසුම්වලට අනුකූලව යෙදවූ බව තහවුරු කරමින් සම්මත කරගත් අධ්‍යක්ෂ මණ්ඩල යෝජනාවක (Board Resolution) සහතික කළ පිටපතක් කොටස් වෙළඳපොළ වෙත ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇත.

යම් ආකාරයකින් රැස්කරන ලද අරමුදල් සම්පූර්ණයෙන්ම උපයෝගී කර නොමැති නම්, එම ඉතිරි මුදල් බැංකු ගිණුමක තැන්පත් කර තිබේද, අනුබද්ධ හෝ අදාළ පාර්ශවයකට (Related Party) ලබා දී තිබේද, නැතහොත් වෙනත් ආයෝජනවල යොදවා තිබේද යන්න පැහැදිලිව සඳහන් කළ යුතුය. යම් මුදලක් අදාළ පාර්ශවයක් වෙත ලබා දී ඇත්නම්, එම පාර්ශවයේ නම, පවතින සම්බන්ධතාවය, මුදල් ලබාදීමේ සවිස්තරාත්මක අරමුණ සහ ඒ සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලැබුණු දිනය ද අනිවාර්යයෙන්ම හෙළිදරව් කළ යුතුය.

තවද, මුල් සැලසුම්වලින් බැහැරවීමක් (deviation) සිදුවී ඇත්නම්, ඒ පිළිබඳ තොරතුරු කොටස් වෙළඳපොළ වෙත දන්වා තිබේද යන්න සහ ඒ සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලැබුණු දිනයන් ද මින් ඉදිරියට වාර්තා කළ යුතු වේ.

උපුටා ගැනීම : අද දෙරණ