𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන කළමනාකරණය සඳහා මහා භාණ්ඩාගාරයට අයත් සීමාසහිත (පොදු) සමාගමක්

ශ්‍රී ලංකාවේ නාගරික හා නගරාන්තර මගී ප්‍රවාහන පද්ධතිය වඩාත් කාර්යක්ෂම, ඒකාබද්ධ හා පරිශීලක හිතකාමී පද්ධතියක් බවට පත් කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක් වේ. ඒ සඳහා බස් රථ, දුම්රිය, කුලී රථ සහ අනෙකුත් ප්‍රවාහන මාධ්‍යයන් අතර කාර්යක්ෂම හුවමාරුව සහ අන්තර් සම්බන්ධීකරණය ඇති කිරීමේ විසඳුමක් ලෙස බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන හඳුනා ගනු ලැබ ඇත. මාකුඹුර සහ කඩවත යන බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන මේ වන විට ක්‍රියාත්මක වන අතර, අනුරාධපුර (දක්ෂිණ) සහ මහනුවර යන බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානවල ඉදිකිරීම් කටයුතු සිදු කරමින් පවතී.

එම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානවල මෙහෙයුම්, පරිපාලනය, ප්‍රමිතිකරණය, ව්‍යාපාර සංවර්ධනය හා ජාතික මට්ටමේ ප්‍රතිපත්තිමය සම්බන්ධීකරණය සඳහා ප්‍රවාහන විෂයභාර අමාත්‍යාංශය යටතේ ස්ථිර ආයතනික ව්‍යුහයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පිළිබඳව 2025-12-29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කරනු ලැබ ඇත.

ඒ අනුව එළඹි තීරණය පරිදි මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ අදාළ දෙපාර්තමේන්තුවල නිලධාරින් විසින් පවත්වන ලද සාකච්ඡා මත පදනම්ව, බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන කළමනාකරණය සඳහා 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ විධිවිධාන ප්‍රකාරව ප්‍රවාහන විෂය භාර අමාත්‍යාංශය යටතේ පාලනය වන 100%ක් මහා භාණ්ඩාගාරයට අයත් සීමාසහිත (පොදු) සමාගමක් ස්ථාපිත කිරීම යෝග්‍ය බවට නිර්දේශ කරනු ලැබ තිබේ. එකී නිර්දේශය ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන වැඩබලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

උපුටා ගැනීම : අද දෙරණ