𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

2026 ජූලි මාසයේ දී නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්. සේවා නියුක්තියත් ඉහළට

2026 ජූලි මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.

නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2026 ජූලි මාසයේ දී 55.0ක දර්ශක අගයක් වාර්තා කරමින්, නිෂ්පාදන ක්‍රියාකාරකම්වල අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කළේය. සියලුම උප දර්ශක මෙම වර්ධනය සඳහා ධනාත්මකව දායක විය.

නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශකවල සමස්ත වර්ධනයට ප්‍රධාන වශයෙන් ආහාර හා පාන නිෂ්පාදන අංශයේ ශක්තිමත් කාර්යසාධනය හේතු විය. නිෂ්පාදන ක්‍රියාකාරකම් පිළිබඳ ධනාත්මක අපේක්ෂාවන් පිළිබිඹු කරමින්, සේවා නියුක්ති සහ තොග මිලදී ගැනුම් උප දර්ශක  ජූලි මාසයේ දී වර්ධනය විය. මේ අතර, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය මෙම මාසය තුළ දීර්ඝව පැවති අතර, එමගින් සැපයුම් දාමයේ පවතින අඛණ්ඩ පීඩනයන් පෙන්නුම් කෙරේ..

නිෂ්පාදන අංශය ගෝලීය පරිසරයේ පවතින අවිනිශ්චිතතා මධ්‍යයේ සැලකිලිමත් වෙමින් ඉදිරි මාස තුන සඳහා ද ධනාත්මක අපේක්ෂාවකින් පසු වේ.

සේවා අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, පෙර මාසයට සාපේක්ෂව සේවා ක්‍රියාකාරකම්වල වේගවත් වර්ධනයක් පෙන්නුම් කරමින්, 2026 ජූලි මාසයේ දී දර්ශකාංක 61.4ක අගයක් වාර්තා කළේය.

පුළුල් ආංශික වැඩිදියුණු වීම්වල සහාය ඇතිව, 2026 ජූලි මාසයේ දී සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් ප්‍රසාරණය විය. ප්‍රධාන වශයෙන් ප්‍රවාහනය, මූල්‍ය සහ වෘත්තීය සේවා යන උප අංශයන්හි වර්ධනය මෙම ප්‍රසාරණය සඳහා හේතු වූ අතර, අනෙකුත් පෞද්ගලික සේවා උප අංශ ද සැලකිය යුතු වර්ධනයක් වාර්තා කළේය.

2026 ජූලි මාසයේ දී නව ව්‍යාපාර ප්‍රසාරණය වූ අතර, ඒ සඳහා ප්‍රධාන වශයෙන් ප්‍රවාහන සහ වෘත්තීය සේවා උප අංශයන්හි ඉහළ යෑම් බලපෑවේය. මූල්‍ය සහ අනෙකුත් පෞද්ගලික සේවා උප අංශ ද මෙම වර්ධනයට දායක විය.

නව සේවක බඳවා ගැනීම් සහ සේවක ඉල්ලා අස්වීම් මන්දගාමී වීම හේතුවෙන් 2026 ජූලි මාසයේ දී සේවා නියුක්තිය ඉහළ ගියේය. මේ අතර, නිම කිරීමට ඉතිරිව ඇති කාර්යයන් පෙර මාසයට සාපේක්ෂව වැඩි විය.

ඉදිරි කාර්තුව සඳහා ව්‍යාපාරික ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂාවන් 2026 ජූලි මාසයේ දී තවදුරටත් ශක්තිමත් වූ අතර, අපේක්ෂිත ආර්ථික තත්ත්වයන්හි වැඩිදියුණු වීම් සහ මහනුවර ඇසළ පෙරහැර සමයේ සංචාරක පැමිණීම ඉහළ යෑම ඒ සඳහා සහාය විය. කෙසේ වෙතත්, පුළුල් ගෝලීය ආර්ථික අවිනිශ්චිතතා ඉදිරි දැක්මට අහිතකර අවදානම් තවදුරටත් එල්ල කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2026 ජූලි මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක වාර්තාවෙහි මේ බව සඳහන් වේ.

උපුටා ගැනීම : අද දෙරණ