ග්‍රාමීය මට්ටමේ ව්‍යවසායකත්වය නඟාසිටුවමින් ලංකා ලයන්ස් පදනමේ ක්ෂුද්‍ර මූල්‍ය ණය වැඩසටහන අඛණ්ඩව ඉදිරියට
ලංකා ලයන්ස් සමාජයට අනුබද්ධ මානුෂීය සහ ප්‍රජා සංවර්ධන අංශය වන ලංකා ලයන්ස් පදනම විසින්, සාමාන්‍ය බැංකු පහසුකම් ලබා ගැනීමට අපහසු, එහෙත් උත්සාහවන්ත, අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන ක්ෂුද්‍ර මූල්‍ය ණය වැඩසටහන හරහා ග්‍රාමීය මට්ටමේ ව්‍යවසායකත්වය නඟාසිටුවීමට අඛණ්ඩව විශාල දායකත්වයක් සපයයි.

2026 අප්‍රේල් 30 වැනිදා වන විට, මෙම පදනම විසින් දිස්ත්‍රික්ක 12ක් පුරා විහිදුණු ප්‍රාදේශීය සිංහ සමාජ 210ක නිර්දේශය මත, සුදුසුකම් ලැබූ ව්‍යවසායකයන් 2,668 දෙනෙකු වෙත රුපියල් 112,784,045ක මුළු වටිනාකමකින් යුතු ක්ෂුද්‍ර මූල්‍ය ණය 3,079ක් සාර්ථකව පිරිනමා ඇත. ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ ස්වයං රැකියා උත්පාදනය, මූල්‍ය ස්වාධීනත්වය සහ පවුල් පසුබිම නඟාසිටුවීම සඳහා මේ වන විට ප්‍රබල මෙවලමක් බවට පත්ව තිබේ.
විශේෂයෙන්ම, මෙම ණය සහනලාභීන්ගෙන් 75%කට වඩා වැඩි පිරිසක් සුළු ව්‍යාපාර ආරම්භ කිරීමට, තම පවුලේ ආදායම මාර්ග වර්ධනය කර ගැනීමට සහ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට වෙහෙසෙන කාන්තා ව්‍යවසායකයන් වීම සුවිශේෂී කරුණකි. සුළු පරිමාණ සිල්ලර වෙළඳාම, කෘෂිකාර්මික ව්‍යාපාර, නිවෙස් ආශ්රිත ආහාර නිෂ්පාදනය සහ ඇඟලුම් මෝස්තර නිර්මාණ වැනි විවිධ ක්ෂේත්රවල නිරත වන්නන් සඳහා වෙනත් ක්‍රමයකින් ලබාගත නොහැකි මූල්‍ය අනුග්‍රහයක් සලසා දෙමින්, මෙම වැඩසටහන ග්‍රාමීය ජනතාව ආර්ථික වශයෙන් බලගන්වයි.

ලංකා ලයන්ස් පදනමේ මෙම ක්ෂුද්‍ර මූල්‍ය ණය වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ, තිරසාර ආර්ථික අවස්ථා උදාකර දෙන අතරම, දිගුකාලීන ප්‍රජා සංවර්ධනයක්, මානව ගෞරවයක් සහ ස්වයංපෝෂිත භාවයක් රට තුළ ඇති කිරීමයි. සාමාන්‍ය වාණිජ ණය ක්‍රමවේදයන් මෙන් නොව, මෙම වැඩසටහන මඟින් සමාජීය බලපෑම, ප්‍රාදේශීය සිංහ සමාජවල නිර්දේශය සහ අන්‍යොන්‍ය විශ්වාසය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරයි. එමඟින්, ප්‍රාදේශීය සිංහ සමාජවල මඟ පෙන්වීම සහ සහයෝගය යටතේ සැබවින්ම උපකාර අවශ්‍ය පුද්ගලයන් වෙත මෙම ප්‍රායෝගික මූල්‍ය ආධාර හිමිවීම තහවුරු කෙරේ.
මෙම වැඩසටහනේ ගමන්මග සහ එහි සාර්ථකත්වය පිළිබඳව අදහස් දක්වමින් ලංකා ලයන්ස් පදනමේ නිර්මාතෘ මහේන්ද්‍ර අමරසූරිය මහතා මෙසේ ප්‍රකාශ කළේය. “ලංකා ලයන්ස් පදනම ආරම්භ වූයේ, පුද්ගලයෙකුට තමන්ගේ සහ තම පවුලේ අවශ්‍යතාවයන් ගෞරවනීය ලෙස සපුරා ගැනීමට ශක්තිය ලබා දීම, දිගුකාලීන සමාජ ප්රගතියේ පළමු පියවරයි යන දැඩි විශ්වාසය මතයි. අපගේ ක්ෂුද්‍ර මූල්‍ය ණය වැඩසටහන මඟින් ඔප්පු කර පෙන්වා දී ඇත්තේ, ව්‍යවසායකත්ව අභිලාෂයක් ඇති, සැබවින්ම මහන්සි වී වැඩ කරන පුද්ගලයන් අතට පත්වන කුඩා මූල්‍ය ආධාරයකින් වුව ද, ඔවුන්ගේ ජීවිත තුළ විශාල පෙරළියක් ඇති කළ හැකි බවයි. අප මේ වන විට අත්කරගෙන ඇති ප්‍රතිඵල, ඒ ඒ ප්‍රදේශවල සිටින සැබෑ ප්‍රතිලාභීන් හඳුනාගෙන ඔවුන්ට අතහිත දීම වෙනුවෙන් අප පදනම සහ ශ්‍රී ලංකාවේ සිංහ සමාජ දක්වන නොසැලෙන කැපවීමට කදිම සාක්ෂියකි.”
මූල්‍ය ආධාර සැපයීමට අමතරව, මෙම පදනමේ ක්‍රියාකාරකම් තුළින් ශ්‍රී ලංකාව තුළ සිංහ සමාජ සතු පුළුල් මානුෂීය මෙහෙවර මැනවින් පිළිබිඹු වේ. ඔවුන්ගේ අරමුණ වන්නේ ප්‍රජාව කේන්ද්‍ර කරගත් සේවා ව්‍යාපෘති හරහා සමාජය තුළ පැහැදිලි සහ මැනිය හැකි යහපත් වෙනසක් ඇති කිරීමයි. මෙම ක්ෂුද්‍ර මූල්‍ය ණය වැඩසටහනේ සාර්ථකත්වය, සාමූහික සේවා නායකත්වය හරහා රටේ ග්‍රාමීය සංවර්ධනයට සහ ආර්ථික ශක්තිමත්භාවයට දායක විය හැක්කේ කෙසේද යන්නට කදිම නිදසුනකි.
සිය අඛණ්ඩ උත්සාහය තුළින්, ලංකා ලයන්ස් පදනම බලාපොරොත්තු වන්නේ ආර්ථික වශයෙන් පීඩාවට පත් ප්‍රජාවන්, විශේෂයෙන්ම කාන්තාවන් මූලික වූ පවුල් සහ ස්වයංපෝෂිත භාවය හා ආර්ථික ස්ථාවරත්වය අපේක්ෂා කරන සුළු පරිමාණ ව්‍යවසායකයන් සඳහා වන අවස්ථා තවදුරටත් පුළුල් කරමින් ඔවුන් වෙත සමීප වීමයි.
ලංකා ලයන්ස් පදනම සහ එහි අනෙකුත් ප්‍රජා සත්කාරක වැඩසටහන් පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා www.lankalionsfoundation.org/ යන නිල වෙබ් අඩවියට පිවිසිය හැකිය.




