𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

DIMO Energy බලශක්ති අනාගතය ශක්තිමත් කරමින් BESS වෙළඳපොළට පිවිසෙයි

DIMO හි බලශක්ති අංශය වන DIMO Energy, සිය DIMO Solar සන්නාමය යටතේ, සූර්ය බලශක්ති විසඳුම් කාර්මික හා වාණිජ යෙදුම්වලින් ඔබ්බට ගෙනයමින් දැන් නිවාස සඳහා ද විසඳුම් ලබාදෙමින්, ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන Battery Energy Storage Systems (BESS) වෙළඳපොළට ද පිවිසී ඇත. DIMO සමාගම, සූර්ය බලශක්තිය සහ BESS ඒකාබද්ධ කළ විසඳුම් හඳුන්වා දෙමින්  මෙම පියවර තබා ඇත්තේ, නිවාස සහ ව්‍යාපාර සඳහා විශ්වාසදායක සහ ස්වාධීන බලශක්ති විසඳුම් සඳහා වැඩිවන ඉල්ලුමට ප්‍රතිචාර දැක්වීමක් වශයෙනි.

මෙම ව්‍යාප්තිය සිදුවන්නේ, ගෝලීය සහ දේශීය වශයෙන් බලශක්ති ගබඩා කිරීමේ වැදගත්කම ඉහළ යමින් පවතින අවස්ථාවක ය. විදුලි ජාල සීමා, බලශක්ති පිරිවැය ඉහළ යාම සහ පුනර්ජනනීය බලශක්ති භාවිතය වේගයෙන් වර්ධනය වීමත් සමඟ, බැටරි මත පදනම් වූ බලශක්ති ගබඩා පද්ධති ශ්‍රී ලංකාවේ බලශක්ති පරිවර්තනයේ අත්‍යවශ්‍ය කොටසක් වනු ඇතැයි කර්මාන්ත විශ්ලේෂකයන්  පෙන්වා දෙනු ලබයි. එමඟින් විදුලි ජාල ස්ථාවරතාව වැඩිදියුණු කිරීම සහ සූර්ය බලශක්තියේ ස්වයං පරිභෝජනය ඉහළ නැංවීම අපේක්ෂා කෙරේ.

බලශක්ති හා විදුලි ඉංජිනේරු ක්ෂේත්‍රයේ දිගුකාලීන පළපුරුද්ද මත ගොඩනැගුණු DIMO, සිය BESS ප්‍රවේශය ඔස්සේ තනි නිෂ්පාදන සැපයීම වෙනුවට විසඳුම් මත පදනම් වූ සේවා සැපයීම කෙරෙහි අවධානය යොමු කරයි. මේ සඳහා සමාගම GoodWe, Huawei, Jinko, JA සහ AE වැනි ලෝක ප්‍රසිද්ධ තාක්ෂණික හවුල්කරුවන් සමඟ සමීපව කටයුතු කරන අතර, තවත් ප්‍රමුඛ ජාත්‍යන්තර සන්නාම සමඟද එක්ව සිය බලශක්ති ගබඩා පරාසය තවදුරටත් ශක්තිමත් කරමින් සිටියි.

DIMO හි BESS විසඳුම් 5 kWh සිට ආරම්භ වන මොඩියුලර් පරාසයකින් යුක්ත වන අතර, නේවාසික, වාණිජ සහ සුළු කාර්මික අවශ්‍යතා සඳහා ගැලපෙන ලෙස සැලසුම් කර ඇත. නිවෙස්වල දෛනික භාවිතයට සුදුසු  අඩු ශබ්ද මට්ටමේ පද්ධති මෙන්ම, විශාල නිවාස සහ කුඩා සිට මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර සඳහා සුදුසු ශක්තිමත් උසස් වෝල්ටීයතා විසඳුම් ද මෙහි ඇතුළත් වේ. මෙම පද්ධති 5 kWh සිට 16 kWh දක්වා බැටරි ධාරිතාවන්ගෙන් සමන්විත වන අතර, පාරිභෝගික අවශ්‍යතා අනුව තවදුරටත් පුළුල් කළ හැක.

මේ පිළිබඳ අදහස් දක්වමින් DIMO හි බලශක්ති අංශයේ සාමාන්‍යාධිකාරී ෂෙහාන් අමරතුංග මහතා සඳහන් කළේ, සමාගමේ තරඟකාරීත්වය පවතින්නේ තනි විසඳුම් නොව, පූර්ණ බලශක්ති විසඳුම් ලබාදීමේ හැකියාව මත බවයි. “ඉතා තරඟකාරී වෙළඳපොළක දී අපගේ අවධානය යොමු වන්නේ නිෂ්පාදනයක් පමණක් ලබාදීම කෙරෙහි පමණක්ම නොවෙයි. පද්ධති සැලසුම් කිරීම, ඉංජිනේරුකරණය, ස්ථාපනය, ක්‍රියාත්මක කිරීම සහ දිගුකාලීන අලෙවියෙන් පසු සේවා දක්වා විහිදෙන සම්පූර්ණ, පාරිභෝගික අවශ්‍යතාවට අනුව සකස් කළ විසඳුම් ලබාදීම කෙරෙහි ද අපි විශේෂ අවධානයක් දක්වනවා. ඒ සඳහා ලොව විශ්වාසදායක සන්නාම සහ අපගේ තාක්ෂණික විශේෂඥතාව යොදාගන්නවා.” යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය.

DIMO Energy හි BESS පරාසය ආරක්ෂණ ව්‍යුහයකින් සමන්විත වන අතර, ආරක්ෂිත බලශක්ති ගබඩා කිරීම සහ විශ්වාසදායක කාර්ය සාධනය සහතික කරයි. එමෙන්ම මෙම පද්ධති නිශ්ශබ්ද ක්‍රියාකාරීත්වය සඳහා සැලසුම් කර ඇති බැවින්, නේවාසික හා වාණිජ පරිසරයන් සඳහා ඉතා සුදුසු වේ.

සේවා විශිෂ්ටත්වය පිළිබඳ සිය කීර්තිය තවදුරටත් තහවුරු කරමින්, DIMO Energy සිය BESS ව්‍යාපාරය සඳහා විශේෂ අලෙවියෙන් පසු සේවා පද්ධතියක් ස්ථාපිත කර ඇති අතර, පාරිභෝගික විමසීම් සහ සේවා අවශ්‍යතා සඳහා පැය 24ක් ඇතුළත ප්‍රතිචාර දැක්වීමට කැපවී සිටියි. මෙයට සමගාමීව, ශ්‍රී ලංකාව පුරා බලශක්ති ගබඩා විසඳුම් වඩාත් පහසු සහ දැරිය හැකි මට්ටමකින් එහි ව්‍යාප්තිය වේගවත් කිරීම සඳහා ද සමාගම කටයුතු කරමින් සිටියි.

මෙම ව්‍යාප්තිය හරහා DIMO Energy, සිය බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛ භූමිකාව තවදුරටත් ශක්තිමත් කරන අතර ශ්‍රී ලංකාව ශක්තිමත්, විමධ්‍යගත සහ තිරසාර බලශක්ති පද්ධති කරා යන ගමනට සහාය වේ.