𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

කොළඹ 6, ඔලිම්පික් ටයර් හවුස් හි සියැට් ‘S-I-S’  අලෙවිසැලක් විවෘත කරයි

සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම සිය අග්‍රගන්‍ය අලෙවිසැල් ජාලය පුළුල් කරමින් කොළඹ 6, හැව්ලොක් පාරේ අංක 255 දරණ ස්ථානයේ පිහිටි ඔලිම්පික් ටයර් හවුස් හි නව Shop-in-Shop (SIS) අලෙවිසැලක් විවෘත කර ඇත.

හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණය ඉදිරිපිට උපායමාර්ගිකව පිහිටා ඇති මෙම අලෙවිසැල, වාහන හිමියන්ට නවීන පන්නයේ, පාරිභෝගික හිතකාමී පරිසරයක් තුළ සියැට් හි පූර්ණ පරාසයක විහිදි ටයර් ආශ්‍රිත සේවාවන් ලබාගැනීමට පහසු ආකාරයේ ප්‍රවේශයක් ලබා දෙයි. මෙම අලෙවිසැල හරහා නයිට්‍රජන් සහ වායු පිරවීම, රෝද තුලනය කිරීම හා සකස් කිරීම ඇතුළු ටයර් ආශ්‍රිත සේවාවන් රාශියක් සමඟින් ආකර්ශනීය වට්ටම් යටතේ පුළුල් පරාසයක සියැට් ටයර් සපයයි. තවද මෙම අලෙවිසැල තුළ, තම වාහන නඩත්තු කටයුතු සිදු කරගන්නා අතරතුර විවේකීව සිටීමට සියැට් ගැනුම්කරුවන් සඳහා ම වෙන් වූ සුවපහසු විවේකාගාරයක් ද ඇත.

සියැට් දියත් කරන ලද මෙම නවමු Shop-in-Shop (SIS) සංකල්පය සිල්ලර වෙළඳාමේ නව මාවතක් විවර කළ මුලපිරීමක් වන අතර එහිදී දැනට පවතින බහු සන්නාම අලෙවි නියෝජිත පරිශ්‍රයක්  තුළ සියැට් සන්නාමයේ ටයර් සඳහා ම වෙන් වූ ප්‍රදේශයක් ස්ථාපිත කරයි. සුවිශේෂී දෘශ්‍යමය සියැට් අවකාශයක් නිර්මාණය කිරීමෙන් මෙම සංකල්පය හරහා වෙළඳසැල් තුළ පාරිභෝගික අත්දැකීම උසස් කරයි. සන්නාමයේ අග්‍රගන්‍ය අනන්‍යතාවය ශක්තිමත් කරමින් අලෙවි නියෝජිත හවුල්කරුවන්ට ද ප්‍රතිලාභ හිමිකර දෙන, මනාව සකස් කර ඇති පරිසරයක් තුළ සියැට් නිෂ්පාදන ඉදිරිපත් කිරීමට මෙමගින් හැකියාව ලබා දෙයි.

මෙම මුලපිරීම යටතේ, සියැට් සමාගම තම Shop-in-Shop (SIS) අලෙවිසැල්වල වෙළඳ පරිසරය උසස් කිරීම සඳහා සැලකිය යුතු ආයෝජනයක් සිදු කරයි. ඒ අනුව ආලෝකමත් කරන ලද වෙළඳ නාම පුවරු, අභ්‍යන්තර හා බාහිර පුවරු සවි කිරීම, උසස් තත්වයේ ආලෝකකරණය, සහ නවීන ගෘහ භාණ්ඩ, ටයර් ප්‍රදර්ශන මෙවලම් හා ටයර් රාක්ක ස්ථාපනය කර ඇත. මෙම වැඩිදියුණු කිරීම් මඟින් සාම්ප්‍රදායික ටයර් අලෙවිසැල් නවීන, ආකර්ෂණීය අලෙවිසැල් ලෙස පරිවර්තනය වන අතර, අලෙවිකරුවන්ට ගැනුම්කරුවන්ගේ පැමිණීම සහ සන්නාමය කෙරෙහි පක්ෂපාතිත්වය වැඩි කරගැනීමට උපකාරී වන ව්‍යුහගත ක්‍රමවේදයක්ද ලබා දේ.

වාහන හිමියන්ට, උසස් තත්වයේ ටයර් නිෂ්පාදන සමඟින් උසස් තත්වයේ පාරිභෝගික අත්දැකීමක් ද ලබා දීම මෙන් ම, සිය අලෙවි නියෝජිත හවුල්කරුවන්ට සුවිශේෂී ප්‍රතිලාභ ගෙන ඒම කෙරෙහි ද මෙමගින් දැඩි අවධානයක් යොමු කර ඇත. අලෙවි නියෝජිතයින්ගේ පරිශ්‍රයන් අග්‍රගන්‍ය වෙළඳ පරිසර බවට පරිවර්තනය කිරීමට සහය වීමෙන්, සියැට් සන්නාමයේ දෘශ්‍යතාවය ශක්තිමත් කරනවා පමණක් නොව, සියැට් හවුල්කරුවන්ගේ මෙහෙයුම් කාර්යක්ෂමතාවය හා ව්‍යාපාර වර්ධනය වැඩිදියුණු කිරීමට ද දායක වේ.

මෙම නව අලෙවිසැල සියැට් හි වර්ධනය වන අග්‍රගන්‍ය අලෙවිසැල් ජාලය තවදුරටත් පුළුල් කරයි. ඇතුල් කෝට්ටේ, මාදම්පේ සහ මිරිහාන යන ස්ථාන වල පිහිටා ඇති සමාගම ආයෝජනය කළ නියෝජිතයා මෙහෙයවන (CIDO) ප්‍රමුඛ පෙලේ අලෙවිසැල් තුනක් මෙන් ම බස්නාහිර පළාත සහ ප්‍රධාන කලාපීය නගර පුරා Shop-in-Shop (SIS) අලෙවිසැල් 12 ක් ද මේ වන විට එම ජාලයට ඇතුළත් වේ.

2025 දී බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් ශ්‍රී ලංකාවේ වටිනාම ටයර් සන්නාමය ලෙසත්, LMD විසින් ශ්‍රී ලංකාවේ ‘වඩාත්ම ජනාදරයට පත් ටයර් සන්නාමය’ ලෙසත් ශ්‍රේණිගත කරන ලද සියැට්, ශ්‍රී ලංකාවේ වැඩිම අලෙවියක් ඇති ටයර් සන්නාමය වන අතර වාර්ෂිකව ටයර් මිලියන 1.2 කට වඩා අලෙවි කරයි. සියැට් කැලණි වෙළඳපොළ නායකත්වයට පත්වීම තාක්ෂණය, නවෝත්පාදනය සහ ධාරිතාවය යන අංශවල තිරසාර ආයෝජන මගින් තහවුරු වේ. සමාගමේ නිෂ්පාදන මාලාව රේඩියල්  (මගී මෝටර් රථ, වෑන් සහ SUV), වාණිජ (බයස්-ප්ලයි සහ රේඩියල්), යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ කෘෂිකාර්මික වාහන යන අංශ සඳහා වන ටයර ආවරණය කරයි.

සියැට් සමාගම ශ්‍රී ලංකාවේ වායුමය ටයර් අවශ්‍යතාවයෙන් අඩක් නිෂ්පාදනය කරන අතර එහි නිෂ්පාදනයෙන් සියයට 20 ක් පමණ රටවල් 16 කට අපනයනය කරයි. සියැට් කැලණි හවුල් ව්‍යාපාරය පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාව තුළ සිදු කර ඇති සමස්ත ආයෝජනය රුපියල් බිලියන 8.5 ඉක්මවන අතර ඉදිරි මාස 18 තුළ සිදුකරනු ලබන තවත් රුපියල් බිලියන 4.5 ක ආයෝජනය සමඟින් දේශීය ආර්ථිකයට අත්‍යවශ්‍ය දායකත්වයක් සපයන සහ ජාතියේ ප්‍රවාහන අංශයේ විශ්වාසදායක හවුල්කරුවෙකු ලෙස එහි ස්ථානය ශක්තිමත් කර ඇත.

සේයාරු සටහන : ඔලිම්පික් ටයර් හවුස් සහ කැලණි හෝල්ඩින්ග්ස් හි ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ නියෝජිතයින් විසින් සියැට් හි නව SIS  අලෙවිසැල විවෘත කිරීමේ අවස්ථාව

උපුටා ගැනීම : අද දෙරණ