𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

Ocean Lanka සමාගම සිය දීර්ඝකාලීන කාර්ය මණ්ඩලය අගයයි

ශ්‍රී ලංකාවේ විශාලතම රෙදි ගෙතුම් නිෂ්පාදකයා වන Ocean Lanka පෞද්ගලික සමාගම විසින් එහි ගෞරවනීය අවස්ථාවක් වන “සේවා අභිමන්” Loyalty Awards හි තවත් සුවිශේෂී වැඩසටහනක් පසුගිය දා සමරන ලදි. මෙම සම්මාන උළෙල Ocean Lanka සමාගම විසින් පවත්වනු ලබන ඉතා සුවිශේෂී උත්සවයක් වන අතර, එය එම සමාගමේ කාර්ය මණ්ඩලය, සමාගම කෙරෙහි තබා ඇති විශ්වාසය හා පක්ෂපාතීත්වය ඇගයීම වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කෙරෙන වැඩසටහනකි.

වසර ගණනාවක් පුරාවට Ocean Lanka පෞද්ගලික සමාගම තුළ සුවිශේෂී දක්ෂතා සහ පක්ෂපාතිත්වය  ප්‍රදර්ශනය කළ සේවකයින් අගයමින් ආයතනයේ වසර 10ක සේවා කාලයක් සම්පූර්ණ කළ සේවකයින්  127 දෙනෙකු සහ වසර 20ක් සම්පූර්ණ කළ සේවකයින් 60 දෙනෙකු වෙනුවෙන් මෙහිදී උපහාර පිරිනැමූ අතර ඒ අනුව මෙම වසරේ “සේවා අභිමන්” හි දී සේවකයින් 187 දෙනෙකු විශේෂ ගෞරව ප්‍රශංසාවට පාත්‍ර විය.

මෙම අවස්ථාවට සහභාගී වූ Ocean Lanka පෞද්ගලික සමාගමෙහි  කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ඔස්ටින් අවු මහතා මෙසේ සිය අදහස්  ප්‍රකාශ කළේය. “අපගේ කාර්ය මණ්ඩලය විසින් Ocean Lanka ආයනය කෙරෙහි තබා ඇති අපරිමිත විශ්වාසය සහ පක්ෂපාතිත්වය පිළිබඳව අපට ඇත්තේ නිහතමානී සතුටක්. ‘සේවා අභිමන්’ යනු සම්මාන උළෙලක් පමණක් නොවේ, එය අපගේ කාර්ය මණ්ඩලයේ කැපවීම පිළිබිඹු කරන අවස්ථාවක්.  දිගුකාලීන සේවය වෙනුවෙන් පිළිගැනීමට ලක්වන සේවක පිරිස වසරින් වසර වර්ධනය වීම,  පක්ෂපාතීත්වයෙන් සහ කැපවීමෙන් යුුතු සංස්කෘතියක් පෝෂණය කිරීමට අප සමාගමේ නොසැලෙන කැපවීම පිළිබඳ කදිම සාක්ෂියක්.”

Ocean Lanka පෞද්ගලික සමාගම   සේවකයින්ගේ වෘත්තීය සංවර්ධනය වෙනුවෙන්  දැඩි ලෙස කැපවී සිටින අතර සිය කාර්ය මණ්ඩලයට  විශිෂ්ට කාර්ය සාධනයක්   අඛණ්ඩව ලබා දීම සඳහා ඔවුන්ව පෙළඹවීම සහ ප්‍රබෝධමත් කිරීම අරමුණු කරගත්  දිරිගැන්වීමේ  ක්‍රියාකාරකම් රැසක් ක්‍රියාත්මක කරයි.

දිනෙන් දින රෙදි ගෙතුම් කර්මාන්තයේ ඉදිරියට ගමන් කරන කර්මාන්තායතනයක් ලෙස Ocean Lanka පෞද්ගලික සමාගමේ අවධානය නිරන්තරයෙන් එහි සේවකයින් අතර කුසලතා සහ සේවක  පක්ෂපාතිත්වය පෝෂණය කළ හැකි සේවා පරිසරයක් ගොඩනැගීම කෙරෙහි යොමු වී ඇත. “සේවා අභිමන්”  වැනි මුලපිරීම් හරහා කර්මාන්තයේ ප්‍රමුඛයා වීමට පමණක් නොව, තම සේවකයන්ගේ වටිනාකම අගයන සහ එය නිසි පරිදි ආයෝජනය කරන ආයතනයක් වීමට Ocean Lanka පෞද්ගලික සමාගම   සතු  නොසැලෙන කැපවීම ද අවධාරණය කරයි.  ආයතනය සහ  කාර්ය මණ්ඩලය අතර  ගොඩනැගුණු දිගුකාලීන සබඳතා සැමරීම වෙනුවෙන් තැනූ වේදිකාවක් ලෙස ද මෙම උත්සව අවස්ථාව අර්ථ ගැන්විය හැකි අතර සේවා ස්ථානයේ විශිෂ්ටත්වය සහ සේවක විශ්වාසය ආරක්ෂා කර ගැනීම සඳහා ආයතය දක්වන උනන්දුව ද මෙමඟින් පිළිබිඹු වේ.