𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

ශ්‍රීලංකන් ගොඩගැනීමේ මෙහෙයුම ආරම්භ කළ බවට නිවේදනයක්

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ (SriLankan Airlines) නව වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී ලෙස පසුගියදා පත් කරන ලද විපුල් මිස්රා (Vipul Misra) මහතා සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා අතර විශේෂ හමුවක් පසුගියදා (15) ශ්‍රී ලංකන් ගුවන් සමාගම් පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්. මංගල මහතා ද සහභාගී විය.

මෙම හමුවේදී ශ්‍රීලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම, මෙහෙයුම් කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සහ මහජනතාව තුළ ගුවන් සමාගම පිළිබඳ පවතින විශ්වාසය යළි ගොඩනැගීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙරට ජාතික සම්පතක් බවත්, එය පාඩු ලබන ආයතනයක් ලෙස තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි බවත් නව කළමනාකාරීත්වය සමඟ එක්ව, විනිවිදභාවයෙන් සහ වෘත්තීයභාවයෙන් යුතුව මෙම ආයතනය ලාබ ලබන ආයතනයක් බවට පත් කිරීම සිය අරමුණ බවත් නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා මෙහිදී අවධාරණය කර සිටියේය.

මේ සඳහා අවශ්‍ය සියළු දේශපාලන නායකත්වය ලබා දීමට තමා ඇතුළු රජය සූදානම් බවත්, ජනතා මුදලින් නඩත්තු වන ආයතනයක් ලෙස ජනතාවට වගකියන ආයතනයක් බවට පත් කිරීමට කැප වී රාජකාරී සිදු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළ බව නිවේදනයක් නිකුත් කරමින් වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහන් කර සිටී.

උපුටා ගැනීම : අද දෙරණ