𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

15%ක ක්ෂයවීම් සහනයෙන් සිදුවන රුපියල් බිලියන 120ක රාජ්‍ය ආදායම් අහිමිවීම වැළැක්වීමට අයවැයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස CMTA ඉල්ලයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් රථ සංගමය වන, ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධ සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), භාවිත කරන ලද වාහන ආනයනයේ දී ලබා දෙන 15% ක ක්ෂයවීම් සහනය අහෝසි කිරීම සඳහා එළඹෙන ජාතික අයවැය තුළින් තීරණාත්මක පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටියි. රජයට සිදුවන සැලකිය යුතු ආදායම් අහිමිවීම් අවම කිරීම සහ සමස්ත මෝටර් රථ ක්ෂේත්‍රය තුළ ඒකීය බදු ව්‍යුහයක් ස්ථාපිත කිරීම මෙම ඉල්ලීමේ ප්‍රධාන අරමුණු වේ.

ලංකා වාණිජ මණ්ඩලය හරහා ඉදිරිපත් කරන ලද පූර්ව අයවැය යෝජනා මගින් ද මෙම ගැටලුව මීට පෙර අවස්ථා කිහිපයක දී ම රජයේ අවධානයට යොමු කර තිබුණ ද, ඊට අදාළ අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස මෙතෙක් ක්‍රියාත්මක වී නොමැත. දීර්ඝ කාලයක් තිස්සේ පවතින මෙම ගැටලුවට විසඳුම් ලබා දීම සඳහා එළඹෙන අයවැය තවත් අවස්ථාවක් උදා කර දෙන බැවින්, මහජන ආදායම සුරක්ෂිත කිරීම, වෙළෙඳපොළ තුළ පවතින විෂමතා ඉවත් කිරීම සහ රට තුළ වඩාත් සාධාරණ හා විනිවිදභාවයකින් යුත් වාහන බදුකරණ පද්ධතියක් සහතික කිරීම වෙනුවෙන් මෙම වසරේ දී අදාළ කරුණට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) රජයෙන් අවධාරණයෙන් ඉල්ලා සිටියි.

සංගමයේ ඇස්තමේන්තුවලට අනුව, දැනට ක්‍රියාත්මක ක්ෂයවීම් ගණනය කිරීමේ ක්‍රමවේදය හේතුවෙන් රජයට අහිමි වූ ආදායම 2025 වසරේ දී රුපියල් බිලියන 40ක් පමණ වූ අතර, 2026 සැප්තැම්බර් මාසය වන විට එම අගය රුපියල් බිලියන 120ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ඇස්තමේන්තු කර තිබේ. මෙම සැලකිය යුතු ආදායම් අහිමි වීමේ වර්ධනය, මෙම ගැටලුව කඩිනමින් විසඳීමේ අවශ්‍යතාව තවදුරටත් අවධාරණය කරයි. ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම, ජාතික සංවර්ධනය ඉදිරියට ගෙන යාම සහ අත්‍යවශ්‍ය මහජන සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා රජයේ ආදායම තීරණාත්මක වන වත්මන් පසුබිම තුළ, මෙලෙස අඛණ්ඩව සිදුවන රාජ්‍ය ආදායම් අහිමිවීම් රාජ්‍ය මූල්‍ය තත්ත්වය මත තවදුරටත් පීඩනයක් ඇති කරයි.

දැනට ක්‍රියාත්මක ක්‍රමවේදය යටතේ, ආනයන බදු ගණනය කිරීමේ දී භාවිත කරන ලද වාහනවල පිරිවැය, රක්ෂණය සහ ප්‍රවාහන ගාස්තු (Cost, Insurance and Freight – CIF) ඇතුළත් වටිනාකම මත 15%ක ක්ෂයවීම් සහනයක් ලබා දෙනු ලැබේ. කෙසේ වෙතත්, භාවිත කරන ලද වාහන වෙළෙඳපොළ හරහා ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන බොහෝ වාහන ප්‍රායෝගිකව කිසිදු දුරක් ධාවනය නොකළ (Zero-mileage) වාහන වන අතර, ඒවායේ CIF වටිනාකම ද අලුත්ම වාහනවල CIF වටිනාකමට සමාන මට්ටමක පවතියි. මෙවැනි තත්ත්වයක් තුළ සියලුම භාවිත කරන ලද වාහන සඳහා පොදුවේ ක්ෂයවීම් සහනයක් ලබා දීමෙන්, වාහනවල සැබෑ වටිනාකමෙහි පවතින වෙනස ඉතා සීමිත වුව ද, භාවිත කරන ලද වාහන ආනයනය සඳහා සාධාරණීකරණය කළ නොහැකි බදු වාසියක් නිර්මාණය වන බව සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) පෙන්වා දෙයි. එමෙන්ම, මෙම ක්‍රමවේදය හේතුවෙන් රජය විසින් අයකරනු ලබන බදු ආදායමට ද සැලකිය යුතු බලපෑමක් එල්ල වේ.

වාහන ආනයනය සඳහා ඒකීය සහ සාධාරණ බදු ව්‍යුහයක් ස්ථාපිත කිරීමේ පුළුල් වැඩපිළිවෙළක කොටසක් ලෙස මෙම ක්ෂයවීම් සහනය අහෝසි කළ යුතු බව සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය  (CMTA) අවධාරණය කරයි. වාහන ආනයනයේ දී සියලුම වෙළෙඳපොළ කාණ්ඩ සඳහා එකම බදු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම තුළින්, විවිධ වෙළෙඳපොළ කාණ්ඩ අතර පවතින මනාප සැලකීම් ඉවත් කිරීමටත්, පවතින ක්‍රමවේදය අනිසි ලෙස භාවිත කිරීමේ අවස්ථා අවම කිරීමටත් හැකි වනු ඇත. එමෙන්ම, වාහන ආනයනකරුවන්ට, පාරිභෝගිකයන්ට සහ රජයට වඩාත් විනිවිදභාවයකින් යුත් හා පුරෝකථනය කළ හැකි මෙහෙයුම් පරිසරයක් නිර්මාණය කිරීමට ද එය දායක වනු ඇත.

දැනට පවතින ක්‍රමවේදය පෞද්ගලික වාසි තකා අනිසි ලෙස භාවිත කරන පාර්ශ්වයන් පිළිබඳව දැඩි අධීක්ෂණයක් ක්‍රියාත්මක කරමින් තීරණාත්මක පියවර ගන්නා ලෙස ද සංගමය අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. ආනයන බදු අයකිරීමේ අපේක්ෂිත අරමුණු අඩපණ කරන ක්‍රියාකාරකම්වලට විසඳුම් ලබා දීම සහ පවතින ක්‍රමවේදයේ ඇති දුර්වලතා හා නීතිමය හිඩැස් වසා දැමීම, රජයේ ආදායම සුරක්ෂිත කිරීමට මෙන්ම ශ්‍රී ලංකාවේ මෝටර් රථ වෙළෙඳ ක්ෂේත්‍රයේ විශ්වසනීයත්වය හා විධිමත්භාවය පවත්වාගෙන යාමට ද අත්‍යවශ්‍ය වේ.

වාහන මිලදී ගැනීමේ හැකියාව සහ වාහනවල දැරිය හැකි මිලක් පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිගන්නා අතරම, වෙළෙඳපොළ විකෘති කරන සහ මහා භාණ්ඩාගාරයට සැලකිය යුතු මූල්‍ය බරක් පටවන තෝරාගත් බදු සහන මගින් එම අරමුණ සාක්ෂාත් කර ගැනීමට උත්සාහ නොකළ යුතු බව සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) අවධාරණය කරයි. වාහන හිමිකාරිත්වයේ පිරිවැය අඩු කිරීම රජයේ ප්‍රතිපත්තිමය ප්‍රමුඛතාවක් නම්, එක් වාහන ආනයන කාණ්ඩයකට තවත් කාණ්ඩයකට වඩා වාසි සැලසෙන සහන ලබා දීම වෙනුවට, එවැනි පියවර සියලුම වාහන ආනයන කාණ්ඩ සඳහා අදාළ වන පුළුල් හා ඒකීය බදු රාමුවක් තුළ සලකා බැලිය යුතු බව සංගමයේ අදහසයි.

තවද, අලුත්ම වාහන මිලදී ගන්නා පාරිභෝගිකයන්ට නිෂ්පාදකයා විසින් ලබා දෙන වගකීම් සහතික (Manufacturer Warranties) හිමිවන බව ද සංගමය පෙන්වා දෙයි. වගකීම් කාල සීමාව තුළ නඩත්තු හා අලුත්වැඩියා වියදම් අවම කර ගැනීමට මින් අවස්ථාව සැලසෙන අතර, එය වාහනයේ විශ්වසනීයත්වය, අලෙවියෙන් පසු සේවා සහ වාහනයක් හිමිකර ගැනීමේ දී දැරීමට සිදුවන සමස්ත පිරිවැය සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට අමතර විශ්වාසයක් සහ සහතිකයක් ලබා දෙයි. නව සහ භාවිත කරන ලද වාහන වෙළෙඳපොළට බලපාන ප්‍රතිපත්තිමය තීරණ සලකා බැලීමේ දී, මෙම කරුණු පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බව සංගමය අවධාරණය කරයි.

වාහනවල ක්ෂයවීම් සහනය ලබා දීම සම්බන්ධයෙන් වඩාත් විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බව සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය  (CMTA) මීට පෙර ද යෝජනා කර තිබේ. ඒ අනුව, 2013 වසර තරම් ඈත කාලයක දී ඉදිරිපත් කරන ලද යෝජනාවක් ඇතුළුව, එතැන් සිට මේ දක්වා බලයට පත් වූ සෑම රජයක් වෙතම මෙම යෝජනාව අඛණ්ඩව ඉදිරිපත් කර ඇත. එම යෝජනාවට අනුව, සියලුම වාහන සඳහා එකම ස්ථාවර ප්‍රතිශතයකින් ක්ෂයවීම් සහනයක් ලබා දීම වෙනුවට, අදාළ වාහනයේ වයස අනුව ක්ෂයවීම් ප්‍රතිශතය තීරණය කෙරෙන ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතුය. ඒ යටතේ, උපරිම ක්ෂයවීම් සහනය 10%කට සීමා වන පරිදි නිශ්චිත ප්‍රතිශත පරිමාණයක් හඳුන්වා දීම යෝජනා කර තිබේ. මෙවැනි ක්‍රමවේදයක් මගින් වාහන ආනයන බදු ගණනය කිරීම සඳහා වඩාත් විනිවිදභාවයකින් යුත් සහ සාධාරණ පදනමක් ස්ථාපිත කිරීමට හැකි වනු ඇත.

දැනට ක්‍රියාත්මක 15%ක ක්ෂයවීම් සහනය අහෝසි කළ යුතු බවට සංගමය අඛණ්ඩව පෙනී සිටින අතරම, රජය විසින් ක්ෂයවීම් සහන ක්‍රමවේදයක් තවදුරටත් පවත්වාගෙන යාමට තීරණය කරන්නේ නම්, එය වාහනයේ වයස පදනම් කරගත්, පැහැදිලිව නිර්වචනය කරන ලද සහ සියලු අවස්ථාවන්හි දී නොවෙනස්ව ක්‍රියාත්මක වන ක්‍රමවේදයක් විය යුතු බව සංගමය අවධාරණය කරයි. එමෙන්ම, එවැනි සහනයක් සාධාරණ උපරිම සීමාවකට යටත් කළ යුතුය. මෙවැනි ක්‍රමවේදයක් අනුගමනය කිරීම තුළින් අත්තනෝමතික බදු වාසි ලබා ගැනීමේ අවස්ථා අවම කිරීමටත්, බදු ක්‍රමවේදයේ විනිවිදභාවය ඉහළ නැංවීමටත්, රාජ්‍ය ආදායම සුරක්ෂිත කිරීමටත් හැකි වනු ඇත.

රජය එළඹෙන අයවැය සකස් කරමින් සිටින මෙම අවස්ථාවේ දී, මෙම ගැටලුව කඩිනම් අවධානයට ලක් කළ යුතු අතර තවදුරටත් කල් දැමිය නොහැකි කරුණක් බව CMTA යළිත් අවධාරණය කරයි. දැනට ක්‍රියාත්මක ක්ෂයවීම් සහන ක්‍රමවේදය සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සහ වාහන ආනයනය සඳහා සාධාරණ බදු ව්‍යුහයක් ස්ථාපිත කිරීම තුළින් රාජ්‍ය ආදායම් ක්ෂයවීම් අවම කිරීමටත්, රාජ්‍ය මූල්‍ය තත්ත්වය ශක්තිමත් කිරීමටත්, ශ්‍රී ලංකාවේ සමස්ත මෝටර් රථ ක්ෂේත්‍රය තුළ සියලු පාර්ශ්වයන්ට සමාන හා සාධාරණ තරගකාරී පරිසරයක් සහතික කිරීමටත් වැදගත් පියවරක් තැබිය හැකි වනු ඇත.

ඒ අනුව, භාවිත කරන ලද වාහන ආනයනයේ දී ලබා දෙන 15%ක ක්ෂයවීම් සහනය අහෝසි කරමින්, සාධාරණ, විනිවිදභාවයකින් යුත් සහ ඒකාකාරී බදුකරණ රාමුවක් හඳුන්වා දීම සඳහා එළඹෙන අයවැය තුළින් තීරණාත්මක පියවර ගන්නා ලෙස ලංකා CMTA විසින් රජයෙන් ඉල්ලා සිටියි. මීට පෙර අවස්ථා කිහිපයකදීම මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර තිබුණද, ගැටලුවට මෙතෙක් විසඳුමක් ලැබී නොමැති බැවින්, රාජ්‍ය ආදායම සුරක්ෂිත කිරීමට සහ මෝටර් රථ වෙළෙඳපොළ තුළ වඩාත් සාධාරණ හා සමානාත්මතාවයෙන් යුත් තරගකාරී පරිසරයක් ගොඩනැගීමට අවශ්‍ය නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරමින්, ඉදිරි අයවැය මගින් මේ සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රතිපත්තිමය මඟපෙන්වීමක් ලබා දිය යුතු බව CMTA සංගමය අවධාරණය කරයි.