𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

කලාපීය ලොජිස්ටික් මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ලෝක බැංකුව සමඟ සාකච්ඡාවක්

වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා වරායේ ඉදිරි සංවර්ධන කටයුතු සහ යෝජිත නව කලාපීය ලොජිස්ටික් මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සම්බන්ධව ලෝක බැංකු සමූහයේ නියෝජිත කණ්ඩායමක් සමඟ සාකච්ඡාවකට එක්ව තිබේ. අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවැත් වූ මෙම සාකච්ඡාවට ලෝක බැංකු සමූහය වෙනුවෙන් ප්‍රායෝගික කළමනාකාරිණී ජෙන් ජුන්ග්ඉයුන් ඕ (Ms. Jen JungEun Oh) මහත්මිය, ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් නිලධාරී ස්ටෙෆන් මැසිං (Mr. Stephan Massing) මහතා සමඟ තවත් නියෝජිත පිරිසක් සහභාගී වූහ. නියෝජ්‍ය අමාත්‍යය ජනිත රුවන් කොඩිතුවක්කු සහ අමාත්‍යාංශ ලේකම් ඩබ්.ඩබ්.එස්.මංගල යන මහත්වරුන් ද ඊට එක් වූහ.

මෙම සාකච්ඡාවේදී මැදපෙරදිග පවතින භූ – දේශපාලනික තත්ත්වයන් හේතුවෙන් කලාපීය නාවික හා ලොජිස්ටික් ක්‍රියාකාරකම් සඳහා ශ්‍රි ලංකාවට උදා වී ඇති නව අවස්ථා ප්‍රයෝජනයට ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව දෙපාර්ශවයේම විශේෂ අවධානය යොමු විය.

එමෙන්ම වරායේ ආයෝජන ක්‍රියාවලියන් වලදී වඩාත් විනිවිදභාවයෙන් සහ වාණිජමය වශයෙන් ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකු සමූහයේ සහාය ලබාගැනීම පිළිබඳව ද සාකච්ඡා කරන ලදී. තව ද එම කටයුතු වලදී විශේෂඥ උපදේශකයකුගේ සහාය ලබා දීමට ද නියෝජිත පිරිස කැමැත්ත ප්‍රකාශ කළහ.

එවැනි උපදේශකයෙකු බඳවා ගැනීමේදී ඊට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලෝක බැංකු සමූහයේ ප්‍රතිපාදන වලින් ලබා දීමට ද එකඟතාවය පල විය.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, දැනටමත් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ අදාළ රාජ්‍යය ආයතන ද සම්බන්ධ කර ගනිමින් වඩාත් පුළුල් ආයතන ව්‍යුහයක් නිර්මාණය කිරීමට සැලසුම් කරගෙන යන බවයි. මේ වන විට ADB සහය ඇතිව අධ්‍යයන කටයුතු ද සිදු කරගෙන යන බටහිර පරියන්ත (WCT) ව්‍යාපෘතියට අවශ්‍ය වියදම් සහ මූල්‍ය අවශ්‍යතා ADB සමඟ සහයෝගයෙන් සිදු කිරීම හැකි බව ද නියෝජිත පිරිස සඳහන් කළහ.

ශ්‍රී ලංකාව කලාපීය ලොජිස්ටික් මධ්‍යස්ථානයක් බවට පත් කිරීම සඳහා, රේගු ක්‍රියාවලියන් වේගවත් කිරීම, ආයෝජන දිරිගැන්වීම, BOI ක්‍රියාවලියන් වැඩිදියුණු කිරීම, ලොජිස්ටික් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය කිරීම එහි ප්‍රධාන අංග ලෙස හඳුනාගෙන ඇති බව ද ප්‍රකාශ විය.

එහිදී විෂයභාර අමාත්‍යවරයා සඳහන් කළේ ජාතික ලොජිස්ටික් ප්‍රතිපත්තියන් සඳහා අන්තර් අමාත්‍යාංශ කමිටුවක් පිහිටුවීමට ද සාකච්ඡා කරගෙන යන බවයි.

ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රමුඛතා සාක්ෂාත් කරගැනීම සඳහා ලෝක බැංකුවේ 2026 සිට 2030 දක්වා කාලය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත ප්‍රමුඛතා, අරමුණු සහ සහයෝගිතා වැඩසටහනේ ප්‍රමුඛත්වය වරාය සහ ලොජිස්ටික් ක්ෂේත්‍ර සංවර්ධනය බව ද සඳහන් විය.

උපුටා ගැනීම : අද දෙරණ