𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

ශ්‍රී ලංකා-රුමේනියා ආර්ථික සබඳතා ශක්තිමත් බුකාරෙස්ට් වාණිජ මණ්ඩලයේ කොළඹ කාර්යාලය විවෘත වෙයි

ශ්‍රී ලංකාව සහ රුමේනියාව අතර වෙළඳ, ආයෝජන සහ ව්‍යාපාරික සහයෝගිතාව තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් බුකාරෙස්ට් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ (CCIB) නියෝජිත කාර්යාලයක් කොළඹදී විවෘත කෙරිණි. පසුගියදා පැවැති මෙම සමාරම්භක උත්සවයට එක්වෙමින් ශ්‍රී ලංකාවේ රුමේනියානු තානාපතිනි මිහෙලා රුට්ජෙන්ස් (Mihaela Rutjens) මහත්මිය සඳහන් කළේ, දෙරට අතර දීර්ඝකාලීන මිත්‍රත්වයක් පවතින අතර ලබන වසරේදී රාජ්‍යදූත සබඳතාවලට වසර 70ක් පිරෙන බවයි. දෙරට අතර පවතින ආර්ථික හැකියාවන් තවදුරටත් වැඩිදියුණු කරගැනීම සඳහා මෙම නව කාර්යාලය මගින් විශාල පිටුවහලක් ලැබෙනු ඇතැයිද ඇය පැවසුවාය. විශේෂයෙන්ම සංචාරක, ආයෝජන සහ වෙළඳ ක්ෂේත්‍රයන් හි නව අවස්ථා රැසක් පවතින බව පෙන්වා දුන් තානාපතිනිය, රුමේනියානු ව්‍යාපාර සඳහා ශ්‍රී ලංකාව තුළ මෙන්ම ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සඳහා යුරෝපීය පොදු වෙළඳපොළ තුළ ඇති ආයෝජන අවස්ථා වෙත යොමුවන ලෙස ඉල්ලා සිටියාය. මෙරට තුළ ස්ථාපිත වූ මෙම නියෝජිත කාර්යාලය දෙරටේම ව්‍යාපාරිකයන් අතර විශ්වාසනීය සහ සෘජු සබඳතාවක් ගොඩනැගීමට උපකාරී වනු ඇතැයි ඇය වැඩිදුරටත් සඳහන් කළාය. මෙම අවස්ථාවට එක්වූ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා ප්‍රකාශ කළේ, ශ්‍රී ලාංකික යෞවන යෞවනියන් සඳහා විදේශ රැකියා අවස්ථා ලබාදෙන ප්‍රධාන රටක් ලෙස රුමේනියාව වැදගත් වන අතර, සංචාරක ක්ෂේත්‍රයද දෙරටේ ආර්ථිකයට විශාල ශක්තියක් වන බවයි. නව වාණිජ මණ්ඩල කාර්යාලය හරහා ආයෝජන ආකර්ෂණය කර ගැනීම, සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සහ නව රැකියා අවස්ථා උත්පාදනය කිරීම වඩාත් පහසු වන බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, ශ්‍රී ලංකා රජය රුමේනියාව සමඟ පවතින මෙම ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට කැපවී සිටින බවද පැවසීය. මෙම නිල උත්සව අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ රුමේනියානු තානාපතිනි මිහෙලා රුට්ජෙන්ස්, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ, ආචාර්ය සමන් වීරසිංහ, ඒඩ්‍රියන් බේඩෙස්කු (Adrian Badescu) සහ ටෙෂාන් දිලංක යන මහත්වරුන් ඇතුළු ආරාධිතයන් රැසක් එක්ව සිටියහ.

උපුටා ගැනීම : දිනමිණ