𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

India Desk නිල වශයෙන් ඇරඹෙයි

ඉන්දු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමේ (ISFTA) 25 වැනි සංවත්සරය නිමිත්තෙන් කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධාන කරන ලද විශේෂ සමුළුවකදී ‘ඉන්දීය කවුළුව’ (India Desk) පසුගියදා නිල වශයෙන් විවෘත කරන ලදී.

ඒ වෙළෙඳ, වාණිජ. ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙනි.

ඉන්දීය වෙළෙඳපොළට පිවිසීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකීය ව්‍යාපාරිකයන් සඳහා අවශ්‍ය නියාමන උපදෙස්, වෙළෙඳපොළ තොරතුරු සහ ඉන්දීය පාර්ශ්වකරුවන් සමඟ සෘජුවම සම්බන්ධ වීමේ අවස්ථා සලසා දීම මෙම මුලපිරීමේ ප්‍රධාන අරමුණ වේ.

ඉන්දු – ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (ILCCI) විසින් හඳුන්වා දී ඇති මෙම වැඩපිළිවෙළ, ගෝලීය ඉන්දීය ව්‍යාපාර සංසදයේ (GITA) සක්‍රීය දායකත්වයෙන් ශක්තිමත් වනු ඇත.

එසේම මෙය ශ්‍රී ලාංකීය ව්‍යවසායකත්වය ජාත්‍යන්තරයට ගෙන යන නව ආර්ථික මාවතක සමාරම්භයක් වන අතර, දෙරට අතර වෙළෙඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට මහෝපකාරී වේ.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක් වූහ.

උපුටා ගැනීම : අද දෙරණ