𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

ශ්‍රී ලංකා පොලීසියට TATA Xenon Yodha කැබ් රථ 134ක් භාරදීමට DIMO දායක වෙයි

ශ්‍රී ලංකාවේ TATA වාහන සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන DIMO සමාගම, ශ්‍රී ලංකා පොලීසියට TATA Xenon Yodha කැබ් රථ 134ක් භාරදීමේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කරමින් උතුරු පළාතේ පොලිස් මෙහෙයුම් සහ මහජන සේවා කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීමට දායක විය.

මෙම නිල භාරදීමේ උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, මහජන ආරක්ෂක අමාත්‍ය ගරු කේ.එම්. ආනන්ද විජේපාල මහතා, මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ගරු සුනිල් වටගල මහතා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ඩී.ඩබ්ලිව්.ආර්.බී. සෙනෙවිරත්න මහතා, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගරු සන්තෝෂ් ජා මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ. එසේම DIMO සමාගම නියෝජනය කරමින් විධායක අධ්‍යක්ෂ රජීව් පණ්ඩිතගේ මහතා, Automotive Engineering Solutions හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මහේෂ් කරුණාරත්න මහතා සහ TATA Commercial Vehicle Sales හි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සම්පත් කුමාරසිංහ මහතා සහභාගී වූ අතර, TATA Motors, India  නියෝජනය කරමින් SAARC කලාපීය කළමනාකරු අභිජීත් දාස් ශර්මා මහතා, ශ්‍රී ලංකාව සහ භූතානය භාර ප්‍රධානී අලීමුද්දීන් සයීද් මහතා සහ ශ්‍රී ලංකාව සහ භූතානයේ ජාත්‍යන්තර ව්‍යාපාර අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රහීබ් ඛාන් මහතා සහභාගී වූහ.

ඉන්දියානු රජය විසින් ශ්‍රී ලංකාවට පිරිනමන ලද මෙම කැබ් රථ, දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ සංකේතයක් ලෙස සැලකේ. එමෙන්ම, ශ්‍රී ලංකාවේ මහජන සේවා කටයුතු සඳහා සහය ලබාදීමේ අරමුණින් මෙම ප්‍රදානය සිදුකර ඇත.

TATA Xenon Yodha කැබ් රථ 134කින් සමන්විත මෙම රථ පෙළ, උතුරු පළාත පුරා පොලිස් රාජකාරි සඳහා යොදවා ඇති අතර, දුරස්ථ ප්‍රදේශවලට පහසුවෙන් ප්‍රවේශ වීම, ප්‍රවාහන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ දෛනික මුර සංචාර, නීතිය හා සාමය පවත්වාගෙන යාමේ කටයුතු සහ ප්‍රජා සේවා වැඩසටහන් වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමට මෙය උපකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ සඳහා TATA Xenon Yodha රථය තෝරාගෙන ඇත්තේ එහි විශ්වාසනීයත්වය සහ අභියෝගාත්මක මෙහෙයුම් පරිසරයන් සඳහා ඇති යෝග්‍යතාව හේතුවෙනි. බලවත් ඩීසල් එන්ජිමක්, වැඩි බර ප්‍රවාහනය කිරීමේ හැකියාවක් සහ කල්පවතින චැසි ව්‍යුහයක් සමඟින් මෙම රථය විවිධ භූමි තත්ත්වයන් තුළ කාර්යක්ෂමව ක්‍රියා කිරීමට නිර්මාණය කර ඇත. එමෙන්ම, ඉඩකඩ සහිත කැබින් සැලසුම, ඉන්ධන කාර්යක්ෂමතාව සහ අඩු නඩත්තු වියදම් හේතුවෙන් පොලිස් හා මහජන සේවා කටයුතු සඳහා එය ඉතා සුදුසු වේ. ශ්‍රී ලංකා පොලීසියේ මෙහෙයුම් අවශ්‍යතා වලට අනුව මෙම රථ විශේෂ වෙනස්කම් වලට ලක් කර ඇති අතර, ඒ සඳහා විශේෂ ආරක්‍ෂිත ආවරණ සහ නිලධාරීන් ප්‍රවාහනයට පහසු වන පරිදි දිගු ආසන පද්ධතියක් ද ඇතුළත් කර ඇත.

මෙම අවස්ථාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ DIMO හි විධායක අධ්‍යක්ෂ රජීව් පණ්ඩිතගේ මහතා මෙසේ පැවසීය. “ජාතික සේවා කටයුතු සඳහා සහාය වන මෙවැනි වැඩසටහනක කොටස්කරුවෙකු වීමට ලැබීම පිළිබඳව අපි බෙහෙවින් සතුටු වෙනවා. මෙම වාහන භාරදීම හරහා TATA වාහන සම්බන්ධයෙන් පවතින විශ්වාසය මෙන්ම, රටේ ප්‍රගතියට දායක වන විශ්වාසනීය ප්‍රවාහන විසඳුම් ලබාදීමට DIMO සතු හැකියාව ද මනාව පිළිබිඹු කරනවා.”

මෙම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා සියලු පාර්ශව සමඟ සම්බන්ධීකරණය, වාහන සැපයීම සහ භාරදීම, තාක්ෂණික සූදානම් කිරීම්, තත්ත්ව පරීක්ෂණ සහ ලොජිස්ටික් සහාය ලබාදීම ඇතුළු සියලු කටයුතු DIMO විසින් කළමනාකරණය කරමින් නියමිත කාලසීමාව තුළ වාහන භාරදීම සහතික කරන ලදී.

DIMO හි Automotive Engineering Solutions හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මහේෂ් කරුණාරත්න මහතා අදහස් දක්වමින් පැවසුවේ, “DIMO හි අපගේ වගකීම වාහනයක් භාරදීමෙන් අවසන් වන්නේ නැහැ. දිගුකාලීන විශ්වාසනීයත්වය සහ මෙහෙයුම් සූදානම සහතික කිරීම සඳහා අලෙවියෙන් පසු සේවා, තාක්ෂණික දැනුම සහ නියම අමතර කොටස් සැපයීම ඇතුළත් පුළුල් සහාය පද්ධතියක් අපි පවත්වාගෙන යනවා.” යනුවෙනි.

වසර 85කට අධික මෝටර් රථ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වයේ අධිකාරිත්වය සමඟින් සවිබල ගැන්වුණු DIMO හට හිමිවූ මෙම  සුවිශේෂී අවස්ථාව තුළින්, විශ්වාසනීය රථ වාහන, තාක්ෂණික දැනුම සහ පුළුල් සහාය පද්ධතියක් හරහා ශ්‍රී ලාංකේය ප්‍රජාවගේ  සිහින සහ අභිලාෂයන් බලගැන්වීමට දායක වීමේ DIMO හි අඛණ්ඩ කැපවීම යළිත් තහවුරු කරයි.