𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

ගෝලීය දේශපාලනික අර්බුද මධ්‍යයේ වුවද අඛණ්ඩව සිය ස්ථාවරත්වය පවත්වා ගනිමින් සම්පත් බැංකුව 2026 වසරේ පළමුවන කාර්තුව සඳහා රු. බිලියන 6.2 ක බදු පසු ලාභයක් වාර්තා කරයි

සම්පත් බැංකුව 2026 වසරේ පළමුවන කාර්තුව සඳහා රුපියල් බිලියන 28.5 ක මුළු මෙහෙයුම් ආදායමක් වාර්තා කරන ලදී. මේ සඳහා කාර්තුව තුළදී ස්ථාවර ලෙස ඉහළ ගිය ශුද්ධ පොළී ආදායම සහ ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම් හේතු විය. කෙසේ වුවද 2026 වසරේ පළමු කාර්තුව සඳහා බැංකුව රුපියල් බිලියන 6.2 ක බදු පසු ලාභයක් වාර්තා කරන ලද අතර මෙය පසුගිය වසරේ අනුරූප කාර්තුවට සාපේක්ෂව 26% ක පහත වැටීමකි. මේ සඳහා ණය කළඹෙහි අඛණ්ඩ වර්ධනය හා ගෝලීය අර්බුද තත්වයන් හේතුවෙන් හඳුනා ගන්නා ලද රුපියල් බිලියන 4.5 ක අපහායන ප්‍රතිපාදනයන්ද, භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර විකිණීමෙන් ලද ප්‍රාග්ධන ලාභ පෙර වසරේ අනුරූප කාර්තුවට සාපේක්ෂව රුපියල් බිලියන 2.0 කින් පහත වැටීම ද ඍජුවම දායක විය.

2026 වසරේ පළමුවන කාර්තුව තුලදී ණය කළඹෙහි රුපියල් බිලියන 127 ක කැපීපෙනෙන වර්ධනය හේතුවෙන් බැංකුවේ මුළු වත්කම් ප්‍රමාණය පලමු වතාවට රුපියල් ට්‍රිලියන 2 පසු කිරීම සුවිශේෂී සන්ධිස්ථානයකි.

එසේම සම්පත් සමූහයද, 2026 වසරේ පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 9.4 ක බදු පෙර ලාභයක් ද රුපියල් බිලියන 6.8 ක බදු පසු ලාභයක් ද වාර්තා කරන ලදී.

බැංකුවේ ශුද්ධ පොළී ආන්තිකය 2025 වසර සඳහා වාර්තා වූ 4.11% සිට 2026 පළමු කාර්තුව සඳහා පදනම් ලකුණු 2 ක පහත වැටීමක් සහිතව 4.09% ක් ලෙස වාර්තා විය. මේ සඳහා රාජ්‍ය සුරැකුම්පත්වල පොළී අනුපාත පහත වැටීම හේතුවෙන් බැංකුවේ ආයෝජන කළඹ සඳහා වූ පොළී ආදායම පහත වැටීම මූලික වශයෙන් හේතු විය.

2026 වසරේ පළමු කාර්තුව තුළදී සම්පත් බැංකුවේ අරමුදල් මත පදනම් නොවූ ආදායම 4% ක පහත වැටීමක් සහිතව රුපියල් බිලියන 8.3 ක් ලෙස වාර්තා වූ අතර, මේ සඳහා භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර විකිණීමෙන් ලද ප්‍රාග්ධන ලාභයන් පහත වැටීම හේතු විය. මෙම ප්‍රාග්ධන ලාභ පෙර වසරේ අනුරූප කාර්තුවේ වාර්තා කරන ලද රුපියල් බිලියන 2.7 ට සාපේක්ෂව 75% ක පහත වැටීමක් සහිතව රුපියල් බිලියන 0.7ක් ලෙස වාර්තා විය.

කාඩ්පත් භාවිතය ඉහළ යාම ණය කළඹෙහි අඛණ්ඩ වර්ධනය හා වෙළඳාම් ආශ්‍රිත ක්‍රියාකාරකම්වලින් ලද ආදායම් ඉහළ යාම හේතුවෙන් ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම 28% ක ඉහළ යාමක් සහිතව රුපියල් බිලියන 6.1 ක් ලෙස වාර්තා විය.

මීට අමතරව ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල, රුපියල් 5.52 කින් අවප්‍රමාණය වීම හේතුවෙන් පෙර වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 24% ක වාර්ෂික වර්ධනයක් සහිතව 2026 වසරේ පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 1.5 ක විනිමය ආදායමක් වාර්තා කිරීමටද බැංකුව සමත් විය.

2026 වසරේ පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 4.5 ක අපහායන අය කිරීමක් හඳුනා ගන්නා ලද අතර, මෙය පෙර වසරේ පළමු කාර්තුවට වාර්තා කරන ලද රුපියල් බිලියන 0.2 ක අපහායන නැවත හැරවීමට සාපේක්ෂව රුපියල් බිලියන 4.6 ක ඉහළ යාමකි. මෙය මූලිකවම ණය කළඹ වර්ධනය වීම හේතුවෙන් හා ගෝලීය අස්ථාවරත්වය වෙනුවෙන් ණය හා අත්තිකාරම් සඳහා වෙන්කරන ලද රුපියල් බිලියන 4.1 ක අපහායන අය කිරීමකින් ද, වෙනත් මුල්‍ය උපකරණ සඳහා හඳුනා ගන්නා ලද රුපියල් බිලියන 0.4 ක අපහායන අය කිරීමකින් ද සමන්විත විය.

2026 වසරේ පළමු කාර්තුව සඳහා මෙහෙයුම් වියදම පෙර වසරට සාපේක්ෂව 19% ක ඉහළ යාමක් වාර්තා කරන ලද අතර, මේ සඳහා වාර්ෂික වැටුප් වර්ධකය හා නව උපායමාර්ගික මුලපිරීම් ක්‍රියාවට නැංවීම සඳහා සිදු කළ නව සේවක බඳවා ගැනීම් හේතුවෙන් පුද්ගල පිරිවැය ඉහළ යාම, තොරතුරු තාක්ෂණය ආශ්‍රිත වියදම් ඉහළ යාම මූලික වශයෙන් හේතු විය.

බැංකුවේ මුළු බදු වියදම පෙර වසරේ අනුරූප කාර්තුවට සාපේක්ෂව 43% ක පහත වැටීමක් සහිතව රුපියල් බිලියන 5 ක් ලෙස වාර්තා කරන ලදී.

සියලුම ප්‍රාග්ධන අනුපාතයන් අවම නියාමන අවශ්‍යතාවයන්ට වඩා ඉහළ මට්ටමක පවත්වාගෙන යාමට බැංකුව සමත් වූ අතර, 2026 මාර්තු 31 දිනට පළමු පෙළ සාමාන්‍ය ස්කන්ධ ප්‍රාග්ධන අනුපාතය, පළමු පෙළ ප්‍රාග්ධන අනුපාතය හා මුළු ප්‍රාග්ධන අනුපාතයන් පිළිවෙළින් 13.17%, 13.17% හා 15.79% ක් ලෙස වාර්තා කරන ලදී.

2026 වසරේ පළමු කාර්තුව තුළදී ණය කළඹ රුපියල් බිලියන 127.5 කින් වර්ධනය වූ අතර, මේ හේතුවෙන් බැංකුවේ මුළු වත්කම් පෙර වසරේ අවසානයට සාපේක්ෂව 6% කින් ඉහළ යමින් (24% ක වාර්ෂික වර්ධනයක්), 2026 මාර්තු 31 දිනට රුපියල් ට්‍රිලියන 2.1 ක් ලෙස වාර්තා විය. තවද තැන්පතු ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් බැංකුවේ මුළු වගකීම් ද 2025 වසර අවසානයට සාපේක්ෂව 7% ක වර්ධනයක් (28% ක වාර්ෂික වර්ධනයක්) සහිතව රුපියල් ට්‍රිලියන 1.92 ක් දක්වා ඉහළ යන ලදී.

උපුටා ගැනීම : අද දෙරණ