𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

Suzuki රථ  වාහන සඳහා දීර්ඝකාලීන වගකීම් සහතිකයක් හඳුන්වා දීමට AMW සහ Orient Insurance අත්වැල් බැඳ ගනියි.

ශ්‍රී ලංකාවේ Suzuki රථ වාහන හිමිකරුවන් වෙනුවෙන් දීර්ඝකාලීන වගකීම් සහතිකයක්  හඳුන්වා දෙමින්, අලෙවියෙන් පසු සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා Associated Motorways (AMW) සමාගම Orient Insurance සමාගම සමඟ උපායමාර්ගික සහයෝගීතාවකට එළඹ තිබෙයි.

අවබෝධතා ගිවිසුමක් මඟින් නිල වශයෙන් ආරම්භ කරන ලද මෙම සහයෝගීතාවය AMW සමාගම වෙතින් Suzuki රථ වාහන මිලදී ගන්නා පාරිභෝගිකයන්ට දීර්ඝ කළ වගකීම් සහතිකයක ප්‍රතිලාභ භුක්ති විඳීමට අවස්ථාව සලසයි. ඒ අනුව, 2026 මැයි 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙතෙක් පැවති වසර 3 ක හෝ කිලෝමීටර් 100,000 ක නිෂ්පාදකයාගේ සම්මත වගකීම් කාලය (Standard Manufacturer Warranty) වසර 5 ක් හෝ කිලෝමීටර් 150,000 ක් දක්වා දීර්ඝ කෙරෙන අතර එමඟින් පාරිභෝගිකයන්ට දිගුකාලීන හිමිකාරිත්වය පිළිබඳ විශ්වාසයක් ද හිමි වේ.

මෙම නව පියවර හේතුවෙන් පාරිභෝගික අත්දැකීම තවදුරටත් ඉහළ නැංවීමට සහ Suzuki සන්නාමය වෙනුවෙන් පවතින විශ්වාසය ශක්තිමත් කිරීමට දෙපාර්ශවයේම පවතින පොදු කැපවීම මනාව පිළිබිඹු වේ. මෝටර් රථ බෙදාහැරීමේ සහ අලෙවියෙන් පසු සේවාවන් සැපයීමේ AMW සමාගම සතු ප්‍රවීණත්වයත්, අවදානම් කළමනාකරණය සහ රක්ෂණ විසඳුම් සම්බන්ධයෙන් Orient Insurance සතු හැකියාවන් සහ පළපුරුද්දත් එකතු කරමින් වඩාත් පුළුල් වූ සහ සුරක්ෂිත රථ වාහන හිමිකාරිත්වයක් වෙළඳපොළට හඳුන්වා දීමට මෙම සහයෝගීතාවය මගින් අවස්ථාව උදාකර දෙයි.

AMW සමාගම සහ Orient Insurance යන සමාගම් දෙකම ගෝලීය වශයෙන් විවිධාංගීකරණය වූ  Al-Futtaim සමූහ ව්‍යාපාරයට අයත් වේ. එමඟින් මෝටර් රථ සහ මූල්‍ය සේවාවන් අතර මනා සම්බන්ධීකරණයක් ඇති කරමින් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්හට ඉහළ වටිනාකමකින් යුතු සේවාවන් සැපයීමට එම සමාගම්වලට හැකියාව ලැබී ඇත.

මෙම ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාව සඳහා AMW සමාගම වෙනුවෙන් කළමනාකාර අධ්‍යක්ෂ ජවහර් ගනේෂ් මහතා, විකුණුම් අධ්‍යක්ෂ ප්‍රසන්න ද සිල්වා මහතා, අලෙවියෙන් පසු සේවා අධ්‍යක්ෂ චමින්ද වනිගරත්න මහතා, සැලසුම් සහ නිෂ්පාදන සාමාන්‍යාධිකාරී සහන් ජයවර්ණ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. Orient Insurance සමාගම නියෝජනය කරමින් එහි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී තනුජ් එඩ්වඩ් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙම දීර්ඝකාලීන වගකීම් වැඩසටහන මඟින් Suzuki රථ වාහන කෙරෙහි පාරිභෝගිකයන් තුළ පවතින විශ්වාසය තවදුරටත් තහවුරු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එමෙන්ම, වර්ධනය වෙමින් පවතින තරගකාරී වෙළඳපොළක් තුළ සුවිශේෂී වූ සහ පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් ප්‍රවාහන විසඳුම් ලබාදීම සඳහා AMW සමාගම අනුගමනය කරන පුළුල් උපායමාර්ගික වැඩපිළිවෙළට ද මෙයින් විශාල සහයෝගයක් ලැබේ.

Photo Caption:

(වමේ සිට දකුණට) ශ්‍රී ලංකාවේ Suzuki රථ වාහන සඳහා දීර්ඝකාලීන වගකීම් වැඩසටහනක් හඳුන්වා දීමේ උපායමාර්ගික හවුල්කාරිත්ව ගිවිසුමට අත්සන් තැබූ අවස්ථාවේදී AMW සමාගම වෙනුවෙන් එහි කළමනාකාර අධ්‍යක්ෂ ජවහර් ගනේෂ් මහතා සහ Orient Insurance වෙනුවෙන් එහි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී තනුජ් එඩ්වඩ් මහතා 

END