𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

2026 ප්‍රථම අර්ධය තුළ DFCC බැංකුව සිය මූලික මෙහෙයුම් තවදුරටත් පුළුල් කරමින් ශක්තිමත් වර්ධනයක් අත්පත් කරගනී

අවදානම් සහ ශේෂ පත්‍ර කළමනාකරණය වෙනුවෙන් අනුගමනය කරන ලද විධිමත් ක්‍රමවේදයන්ට සමගාමීව, 2026 වසරේ ප්‍රථම අර්ධය තුළදී සිය මූලික බැංකු මෙහෙයුම් ජාලය තවදුරටත් පුළුල් කරමින් ශක්තිමත් කිරීමට DFCC බැංකුව සමත් වී ඇත. මේ හරහා ණය ප්‍රදානයන්, තැන්පතු, ගාස්තු ආදායම් සහ මුළු වත්කම් යනාදී අංශ ගණනාවකින් අඛණ්ඩ වර්ධනයක් වාර්තා කිරීමට බැංකුවට හැකි වී තිබේ.

2026 ජූනි 30 දිනෙන් අවසන් වූ මාස හයක කාලපරිච්ඡේදය සඳහා DFCC සමූහය රුපියල් බිලියන 4.1 ක බදු පසු ලාභයක් වාර්තා කර ඇති අතර, DFCC බැංකුව සිය මූලික මෙහෙයුම් හරහා රුපියල් බිලියන 3.9 ක බදු පසු ලාභයක් (PAT) අත්කර ගැනීමට සමත් විය. 2025 දෙසැම්බර් මාසයට සාපේක්ෂව බැංකුවේ ණය කළඹ 9% කින් වර්ධනය වී රුපියල් බිලියන 564 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, තැන්පතු ප්‍රමාණය 12% කින් වර්ධනය වෙමින් රුපියල් බිලියන 632 ක් ලෙස සටහන් විය. එමෙන්ම බැංකුවේ මුළු වත්කම් ප්‍රමාණය 7% කින් පුළුල් වෙමින් රුපියල් බිලියන 919 ක් දක්වා වර්ධනය වී තිබේ.

බැංකුවේ ප්‍රධාන ආදායම් මාර්ගයන්හි ධනාත්මක ප්‍රවණතාව තවදුරටත් පවත්වා ගනිමින්, ශුද්ධ පොළී ආදායම 6% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 16.1 ක් ලෙස සටහන් විය. වෙළඳ කටයුතු ආශ්‍රිත කොමිස් ආදායම් සහ කාඩ්පත් සේවා වර්ධනය වීම හේතුවෙන් ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම 29% ක කැපී පෙනෙන වර්ධනයක් සමඟින් රුපියල් බිලියන 4.2 ක් දක්වා ඉහළ ගියේය.

වෙනස් වන භූ දේශපාලනික සහ සාර්ව ආර්ථික පරිසරය හමුවේ වුවද, සිය වත්කම්වල ගුණාත්මකභාවය සහ ආරක්ෂිත සංචිත (prudential buffers) තවදුරටත් ශක්තිමත් කිරීමට බැංකුව පියවර ගෙන ඇත. ඒ අනුව, 2025 වසර අවසානයේදී 4.55% ක් ලෙස පැවති ශුද්ධ අදියර 3 හානිපූරණ ණය අනුපාතය 3.61% ක් දක්වා කැපී පෙනෙන ලෙස වර්ධනය වී තිබේ. තවද, ශක්තිමත් කරන ලද ණය අවදානම් ආකෘති සහ කළමනාකරණ මැදිහත්වීම් හරහා අතිරේක හානිපූරණ ප්‍රතිපාදන හඳුනාගෙන වෙන් කිරීමටද බැංකුව කටයුතු කර ඇත.

මෙම මූල්‍ය කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වමින් DFCC බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා මෙසේ පැවසීය. “අපගේ ප්‍රථම අර්ධයේ ක්‍රියාකාරීත්වය මඟින් පෙන්නුම් කරන්නේ, අපගේ මූලික බැංකු මෙහෙයුම්වල අඛණ්ඩ ශක්තිය සහ එහි දිගුකාලීන ගුණාත්මකභාවය මෙන්ම ඔරොත්තු දීමේ හැකියාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අප ගෙන ඇති විධිමත් තීරණවල සාර්ථකත්වයයි. වඩාත් පුළුල් වූ මෙහෙයුම් ධාරිතාවක් සමඟින් අප වසරේ දෙවන අර්ධය වෙත පියනඟන විට අපගේ ප්‍රමුඛතාවන් ඉතා පැහැදිලියි. එනම්, පුළුල් කළ අපගේ මෙහෙයුම් ජාලය ඵලදායී ලෙස ඒකාබද්ධ කිරීම, වත්කම්වල ගුණාත්මකභාවය ආරක්ෂා කිරීම, තිරසාර ආදායම් මාර්ග ශක්තිමත් කිරීම සහ අපගේ ගනුදෙනුකරුවන්ට මෙන්ම පාර්ශ්වකරුවන්ට අඛණ්ඩව ඉහළ වටිනාකමක් ලබා දීමයි.”

වාර්තාකරණ කාලපරිච්ඡේදයෙන් අනතුරුව, 2026 අගෝස්තු 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් ශ්‍රී ලංකා හී ධන කළමනාකරණ සහ පුද්ගලික බැංකුකරණ ව්‍යාපාරය පවරා ගැනීමේ කටයුතු සම්පූර්ණ කිරීමට DFCC බැංකුව සමත් විය. මෙම අත්පත් කරගැනීමත් සමඟ ගනුදෙනුකාර ගිණුම් 50,000 ක් පමණ සහ සේවකයින් 260 දෙනෙකු බැංකුවට එක් වූ අතර, ඒ හරහා DFCC බැංකුවේ සේවා ජාලය දිවයින පුරා ස්ථාන 139 ක් දක්වා ව්‍යාප්ත විය.

නියාමන ආයතනයන්හි අවශ්‍යතාවන් මැනවින් සපුරාලමින්, බැංකුව සිය ප්‍රාග්ධන සහ ද්‍රවශීලතා මට්ටම් ඉතා ශක්තිමත්ව පවත්වාගෙන ගොස් ඇත. ඒ අනුව බැංකුවේ මුළු ප්‍රාග්ධන අනුපාතය 15.707% ක් ලෙසත්, ශුද්ධ ස්ථාවර අරමුදල් අනුපාතය (NSFR) 124.43% ක් ලෙසත්, ද්‍රවශීලතා ආවරණ අනුපාතය (LCR) 162.26% ක් ලෙසත් වාර්තා වූ අතර, මෙම සියලු දර්ශකයන් නියාමන අවශ්‍යතාවලට වඩා ඉහළ මට්ටමක පැවතීම විශේෂත්වයකි.

උපුටා ගැනීම : අද දෙරණ