𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

සම්ප්‍රදායික මැණික් කර්මාන්තය නව තාක්ෂණයෙන් සවිබල ගන්වමින් ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහයෝගිතා ගිවිසුමකට එළඹෙයි.

ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය සවිබල ගැන්වීම සඳහා දායකත්වය ලබා දීමේ අරමුණින්  ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය එක්ව  සහයෝගීතා ගිවිසුමක් (MOC) අත්සන් කිරීමේ උත්සවය පසුගිය අගෝස්තු 23 වැනි දින එම විශ්වවිද්‍යාලයේ සෙනෙට් මණ්ඩල ශාලාවේදී පැවැත්විණි.

මෙය  ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ ලැපිඩරි අංශයේ (Lapidary Segment) උප සභාපති පිනිසිරි විජේපාල මහතා ඇතුළු කණ්ඩායමේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද ව්‍යාපෘතියකි.  මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට නවීන තාක්‍ෂණය හඳුන්වාදීම සනිටුහන් කිරීම සහ  ලැපිඩරි අංශය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ඉහළ නංවාලීම එහි ප්‍රධාන අරමුණයි.

මෙම සහයෝගීතා ගිවිසුම  අත්සන් තැබීමේ අවස්ථාවට  ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ සභාපති අජ්වර්ඩ් ඩීන් මහතා,  ලැපිඩරි අංශයේ (Lapidary Segment) උප සභාපති පින්සිරි විජේපාල මහතා සහ එම අංශයේ සාමාජිකයින් ඇතුළු ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ  ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්  රැසක් සහභාගී වූ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් එහි ඉංජිනේරු පීඨයේ පීඨාධිපති ආචාර්ය තිලක්සිරි බණ්ඩාර මහතා, යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ ප්‍රධානී ආචාර්ය දුලානි මුදුන්කොටුව මහත්මිය ඇතුළු සම්භාවනීය ආරාධිතයන් විශාල පිරිසක් ද මෙම අවස්ථාව  සඳහා සිය සහයෝගය ලබාදෙමින්  පැමිණ සිටියහ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ ප්‍රධානී ආචාර්ය දුලානි මුදුන්කොටුව මහත්මිය විසින් මෙම උත්සව අවස්ථාවේදී ව්‍යාපෘතියේ ඉදිරිදර්ශනය පිළිබඳව දේශනයක් ඉදිරිපත් කරමින් මෙසේ සඳහන් කළාය.  “අපේ ඉතිහාසය පුරාවටම විවිධ කර්මාන්ත ඉහළ නැංවීම සඳහා ඉංජිනේරුවන් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කර තිබෙනවා. මේ සහයෝගීතා ගිවිසුම ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය සමඟ සමීපව සහයෝගයෙන් කටයුතු කිරීමට අප ලද කදිම අවස්ථාවක්. එමඟින් අපට ඔවුන්ගේ ආර්ථික පරිසරය ඉහළ නැංවීමේ ප්‍රයත්නයට ද දායක විය හැකියි.  ඉදිරි වසරවලදී මෙම කටයුතු සඳහා ඵලදායී හවුල්කාරිත්වයක් ලබාදීමට අප අපේක්ෂා කරනවා.”

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ ලැපිඩරි අංශයේ (Lapidary Segment)  උප සභාපති පින්සිරි විජේපාල මහතා ද උත්සව සභාව ආමන්ත්‍රණය කරමින් මෙසේ ප්‍රකාශ කළේය. “ගෝලීය වශයෙන් මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයෙහි ඇති  වැදගත්කම අපට අවතක්සේරු කළ නොහැකියි. එමනිසා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව එම කර්මාන්තයේ වර්ධනය සහතික කරමින් අපගේ දේශීය කර්මාන්තය ඉහළ නංවාලීම අපගේ සාමූහික වගකීමක් .ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය අතර ගොඩනැගෙන මෙම විධිමත් ගිවිසුම මඟින් උසස් කර්මාන්ත මාවතක් වෙත යන ගමනේ පළමු පියවර සනිටුහන් වෙනවා.”

එම අරුත්බර දේශනවලින් අනතුරුව, සහයෝගිතා ගිවිසුම අත්සන් කිරීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සහ ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ නියෝජිතයින් එක්රැස් වූ අතර මෙම සුවිශේෂි උත්සව සභාව අවසන් වූයේ ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩල සභික සහ ලැපිඩරි අංශයේ සාමාජික සමන් අමරසේන මහතාගේ ස්තුති ප්‍රකාශයෙනි.