𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

අමානා තකාෆුල් රක්‍ෂණ සමාගම වසරේ දෙවන කාර්තුවේදීත් අඛණ්ඩ වර්ධන වේගයක් වාර්තා කරයි.

රක්ෂණ ක්ෂේත්‍රයේ සැලකිය යුතු සාමාන්‍යයක් පවත්වා ගනිමින් පුර්ණ ශ්‍රී ලාංකික රක්ෂණ සමාගමක් වන අමානා තකාෆුල් රක්‍ෂණ සමාගම 2021 වසරේ දෙවන කාර්තුවේදී ද සමස්ථ සාමාන්‍ය රක්ෂණ විකිණුම් හි 18% වර්ධනයක් වාර්තා කරමින් 2021 පළමු කාර්තුවේ වාර්තාගත කාර්ය සාධනය දෙවන කාර්තුව තුළදීත් සාර්ථකව පවත්වා ගෙන ගිය බව සමාගම නිවේදනය කරයි. වසරින් වසර විකුණුම් වර්ධනය කර ගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රභලම සාමාන්‍ය රක්ෂණ සමාගම් 10 අතර ඉහළම දෙවන කාර්තුවේ වර්ධන වේගය සනිටුහන් කිරීම අමානා තකාෆුල් රක්ෂණ සමාගම ලැබූ සුවිශේෂී ජයග්‍රහණයකි.

අමානා තකාෆුල් රක්‍ෂණ සමාගමේ මූලෝපාය ප්‍රධානි රාජිත ඔබේසේකර මහතා දෙවන කාර්තුවේ කාර්ය සාධනය පිළිබඳව විස්තර කරමින් මෙසේ පැවසීය. “2021 පළමු කාර්තුවේදී 27% ක ශක්තිමත් වර්ධනයක් සමඟ අමානා තකාෆුල් රක්‍ෂණ සමාගම සැලකිය යුතු වර්ධනයක් වාර්තා කර තිබෙනවා. දෙවන කාර්තුවේ හි 18% ක අඛණ්ඩ විකුණුම් වර්ධනයක් ද පෙන්නුම් කිරීමේ සැලකිය යුතු කරුණක්. ජාතික මට්ටමින් ගත් කල කොවිඩ් වසංගත තත්ත්වය නිසා ඇති වූ දුෂ්කරතා හේතුවෙන් සාමාන්‍ය රක්‍ෂණ වෙළෙඳපොළ පහත වැටෙමින් තිබෙනවා. ඒ අනුව බැලීමේදී ඇත්තෙන්ම මෙය සමාගම ලැබූ ද්විත්ව ජයග්‍රහණයක්. පහත වැටෙන කාල පරිච්ඡේදයක් තුළ අඛණ්ඩව අප සමාගම වර්ධනය වූවා පමණක් නොව, නව සාමාන්‍ය සාර්ව ආර්ථික පීඩනයන් මෙන්ම ජනතාව විසින් රක්‍ෂණයට ප්‍රමුඛතාවය දීම බැහැර කරන කාලයක එම පිඩනයට ද සාර්ථකව මුහුණ දීමට අපට හැකි වී තිබෙනවා. පාරිභෝගික කේන්ද්‍රීය ප්‍රවේශය සහ අපගේ සේවාදායකයින් වඩාත් අපේක්ෂාවෙන් සිටින රක්‍ෂණ විසඳුම් ලබා දීමට හැකිවීම මෙම ද්විත්ව ජයග්‍රහණයට හේතුව ලෙස ම විශ්වාස කරනවා.”

රක්ෂණ ක්ෂේත්‍රය පුරාම ඇතැම් රක්ෂණ කාණ්ඩ වල පහත වැටීමක්  දැක ගත හැකි වුවත් අමානා තකාෆුල් රක්‍ෂණ සමාගම දෙවන කාර්තුවේදී සියළුම ප්‍රධාන රක්‍ෂණ කාණ්ඩයන්හි වර්ධනයක් වාර්තා කර ඇත. දෙවන කාර්තුවෙහි විශාලතම මෝටර් නොවන රක්‍ෂණ වර්ධනය පෙන්නුම් කරනු ලැබුවේ නාවික රක්ෂණ කාණ්ඩය වන අතර එය දෙවන කාර්තුව සඳහා 74%ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ. දෙවන විශාලතම වර්ධන අංශය ලෙස අමානා තකාෆුල් වෛද්‍ය රක්‍ෂණය 59% ක වර්ධනයක් වාර්තා කළේය. මෝටර් නොවන රක්‍ෂණ අංශය සමස්ථයක් ලෙස 30% කින් වර්ධනය වී තිබේ. දෙවන කාර්තුව සඳහා මෝටර් රක්‍ෂණය 8% කින් වර්ධනය විය. මෙම අංශ දෙකම ක්ෂේත්‍රයේ වර්ධන සාමාන්‍යයට වඩා ඉහළ ය. එහිදී ගිනි හා ඉංජිනේරු අංශය ද 29% කින් වර්ධනය වී ඇත.

අමානා තකාෆුල් රක්ෂණ සමාගමේ  කළමනාකාර අධ්‍යක්ෂ හසන් කාසිම් මහතා මේ පිළිබඳව මෙසේ අදහස් දැක්වීය. “අපේ සමූහ වත්කම් ද 2021 මුල් භාගයේදී 16% ක එනම් රුපියල් බිලියන 8.2 දක්වා වර්ධනයක් වාර්තා කර තිබෙනවා. සෑම ශ්‍රී ලාංකිකයෙකුටම  සහයෝගය සහ සේවාවන් ලබා දෙන බවට මේ වසර ආරම්භයේදීම අප පොරොන්දු වී තිබෙනවා.  අමානා තකාෆුල් රක්‍ෂණයේ නව සේවා දිශානතිය හරහා සෑම ශ්‍රී ලාංකිකයෙකුම පිළිබිඹු කරමින් සෑම තරාතිරමකම ශ්‍රී ලාංකිකයින් සඳහා නව්‍ය හා පාරිභෝගික කේන්ද්‍රීය රක්‍ෂණ විසඳුම් තුළින් සැනසිලිදායක බව හිමිකර දෙනු ලබනවා. අපි විශේෂයෙන් මෝටර් රථ සහ වෛද්‍ය රක්‍ෂණ නිෂ්පාදනයන් හරහා ශ්‍රී ලංකාවේ රක්‍ෂණ ක්ෂේත්‍රය තුළ විවිධ නව නිෂ්පාදන සංකල්ප උදෙසා පුරෝගාමීත්වය ලබා දී තිබීමත් විශේෂයෙන් සතුටුදායක කරුණක්. මේ තුළින් වෙළඳ නාමය කෙරෙහි දැඩි විශ්වාසයක් හා ගෞරවයක් දිනා ගැනීමට හැකි වී ඇති අතර එමඟින් සමාගමේ වර්ධනය අඛණ්ඩව කරගෙන යාමට අපට හැකි වේවි. විශේෂයෙන්ම මේ සඳහා ප්‍රධාන විධායක නිලධාරී ෂෙහාන් ෆයිසාල් මහතාගේ නායකත්වයෙන් යුත් අමානා තකාෆුල් රක්ෂණ කණ්ඩායම දැඩි වෙහෙස මහන්සියකින්  වැඩ කළ අතර කණ්ඩායමේ කැපවීම ගැන මම මුළු හදවතින්ම ඔවුන්ට ස්තූතිවන්ත වීමට කැමතියි.”