𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

ශ්‍රී ලංකාව ඇතුළත ගෙවීම් පියවන්න ක්‍රිප්ටෝ භාවිත කරන්න බැහැ – මහ බැංකු අධිපති අවධාරණය කරයි

ශ්‍රී ලංකාවේ වත්මන් නීතිමය රාමුව යටතේ නේවාසිකයන් අතර ගෙවීම් සිදු කිරීම සඳහා ඩිජිටල් වත්කම් හෝ අතථ්‍ය වත්කම් (virtual assets) භාවිත කිරීමට අවසර නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කරයි. ඊයේ (03) පැවති Sri Lanka FinTech Festival අමතමින් මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසූ අතර එහිදී වැඩිදුරටත් කියා සිටියේ, දේශීය ගනුදෙනු සඳහා ශ්‍රී ලංකා රුපියල වෙනුවට වෙනත් ඩිජිටල් වත්කම් ආදේශ වීම වැළැක්වීම සහ මෙරට මූල්‍ය ස්වෛරීත්වය (monetary sovereignty) ආරක්ෂා කිරීම සඳහා මෙම නීතිමය සීමාව අත්‍යවශ්‍ය වන බවයි.

තාක්ෂණික දියුණුවත් සමඟ නියාමන පැහැදිලිභාවය ද වර්ධනය විය යුතු බව පෙන්වා දුන් අධිපතිවරයා, පාරිභෝගිකයින් ආරක්ෂා කරමින් සහ පිළිගත නොහැකි අවදානම්වලින් මිදෙමින් නවෝත්පාදකයින්ට අවශ්‍ය මාර්ගෝපදේශ සැලසීමට මහ බැංකුව කටයුතු කරන බව පැවසීය. ෆින්ටෙක් තාක්ෂණය මගින් සයිබර් ප්‍රහාර, මෙහෙයුම් බාධා, වංචා, දත්ත උල්ලංඝනයන් සහ තෙවන පාර්ශවීය සේවා සම්පාදකයින් මත අධික ලෙස යැපීම වැනි නව අවදානම් නිර්මාණය විය හැකි බව ද ඔහු අවධාරණය කළේය.

අද දෙරණ