𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ කඳුකර ප්‍රදේශවල එළවළු නිෂ්පාදනය යළි ගොඩනැඟීමට FAO සංවිධානයේ සහ ඕස්ට්‍රේලියානු රජයේ සහාය

දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානියෙන් පසු නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල එළවළු නිෂ්පාදනය යළි යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඕස්ට්‍රේලියානු රජයේ විදේශ කටයුතු හා වෙළඳ දෙපාර්තමේන්තුවේ  (DFAT) මූල්‍ය ආධාර මත, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) කුඩා පරිමාණ ගොවීන්ට සහාය දැක්වීමේ  ව්‍යාපෘතියක් දියත්  කරනු ලබයි.

 Seeds of  Recovery : ශ්‍රී ලංකාවේ දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශවල එළවළු නිෂ්පාදන පද්ධති යළි ගොඩනැඟීම සහ නව මඟකට යොමු කිරීම නමැති මාස 12ක ව්‍යාපෘතිය යටතේ, FAO සංවිධානය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු සමඟ එක්ව ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය මගින් දේශීය බීජ නිෂ්පාදන පද්ධති යළි ගොඩනැඟීම, උසස් තත්ත්වයේ රෝපණ ද්‍රව්‍ය පහසුවෙන් ලබා ගැනීමේ අවස්ථා වැඩි කිරීම සහ දේශගුණ සුහුරු යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (CSGAP) ප්‍රචලිත කිරීම සිදු කරයි.

දිට්වා සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ එළවළු වගාවට සැලකිය යුතු හානියක් සිදු වූ අතර  එමඟින් වගා බිම්, කෘෂිකාර්මික වත්කම් සහ කුඩා පරිමාණ ගොවි ප්‍රජාවන්ගේ ජීවනෝපාය මාර්ග බලපෑමට ලක් විය. බෝංචි බීජ සහ බීජ අර්තාපල් නිෂ්පාදනය ඉහළ  නැංවීම ඉලක්ක කර ගත් විශේෂ ක්‍රියාමාර්ග මඟින් එම බලපෑම්වලට පිළියම් යෙදීමට මෙම ව්‍යාපෘතිය කටයුතු කරයි. ඊට අමතරව ගොවි පුහුණුව, තාක්ෂණික සහාය මෙන්ම කෘෂිකාර්මික යෙදවුම් සහ වෙළඳපොළ අවස්ථා පහසුවෙන් ලබා ගැනීමට සහාය වීම ද මීට ඇතුළත් වේ.

ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ බෝංචි බීජ ගොවීන් 800 දෙනෙකුට සහාය ලබා දීම මෙම ව්‍යාපෘතියේ එක්  අරමුණකි.. දැනුම බෙදා ගැනීම, එක්ව කටයුතු කිරීම සහ ගොවි ක්ෂේත්‍ර පාසල් (FFS) වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පහසු කිරීම සඳහා මෙම ගොවීන් කණ්ඩායම් (පොකුරු) 40ක් ලෙස සංවිධානය කර ඇත.

මෙහි පළමු අදියරේ දී මතුරට ප්‍රදේශයේ බෝංචි බීජ ගොවීන් 280 දෙනෙකුට සහතික කළ බෝංචි බීජ ලබා දෙන ලදී.දිස්ත්‍රික්කයේ දේශීය බෝංචි බීජ නිෂ්පාදනය යළි ගොඩනැඟීමේ සහ ගොවීන්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන බීජ පද්ධති ශක්තිමත් කිරීමේ උත්සාහයේ කොටසක් ලෙස මෙම බීජ බෙදා දීම සිදු කෙරිණි.

උසස් තත්ත්වයේ බෝංචි බීජ නිෂ්පාදනය පිළිබඳව බීජ හා රෝපණ ද්‍රව්‍ය සංවර්ධන මධ්‍යස්ථානය (SPMDC) පැවැත්වූ තාක්ෂණික සැසි ද මෙම වැඩසටහනට ඇතුළත් විය. ජාතික බීජ සහතික කිරීමේ පටිපාටි, තත්ත්ව ප්‍රමිතීන්, ක්ෂේත්‍ර පරීක්ෂණ සහ සහතික කළ බීජ නිෂ්පාදනය සඳහා අනුගමනය කළ යුතු යහපත් පිළිවෙත් පිළිබඳව බීජ සහතික කිරීමේ සේවයේ (SCS) නිලධාරීහු මඟ පෙන්වීම ලබා දුන්හ.

මෙම වැඩසටහනේ දෙවැනි අදියර 2026 දෙසැම්බර් මාසයේදී ආරම්භ කිරීමට නියමිතය. පුහුණුව සහ තාක්ෂණික සහාය මඟින් උසස් තත්ත්වයේ බෝංචි බීජ නිෂ්පාදනය කිරීමට ගොවීන්ගේ ශක්‍යතාව ඉහළ නැංවීම, බාහිර බීජ සැපයුම්කරුවන් මත යැපීම අඩු කිරීම සහ දේශීය බීජ වෙළඳපොළවලට සහභාගී වීමේ අවස්ථා නිර්මාණය කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.

මීට අමතරව, නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල අර්තාපල් නිෂ්පාදනය යළි යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගොවීන් 800 දෙනෙකුට සහාය වීම ද මෙම ව්‍යාපෘතිය මඟින් සිදු කරනු ලබයි. ඒ සඳහා එක් දිස්ත්‍රික්කයකින් ගොවීන් 400 දෙනෙකු බැගින් තෝරා ගැනේ. මෙම වැඩසටහන යටතේ, වගාව යළි ස්ථාපිත කර ගැනීමට සහ ගෘහ ආශ්‍රිත ස්වයං බීජ අර්තාපල්  නිෂ්පාදනයට සහාය වීම සඳහා තෝරා ගත් සෑම ගොවියෙකුටම උසස් තත්ත්වයේ බීජ අර්තාපල් අල 2,500 බැගින් ලැබේ.

මෙහි පළමු අදියර 2026 අගෝස්තු මාසයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ රාගල කොට්ඨාසයෙන් ආරම්භ වූ අතර, ග්‍රාම නිලධාරි වසම් දෙකක ගොවීන් 38 දෙනෙක් ඊට ඇතුළත් වූහ.

නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල තෝරා ගත් ඉතිරි ගොවීන්ට ද මෙම සහාය ලබා දෙමින් බීජ බෙදා හැරීමේ ඊළඟ අදියර 2026 නොවැම්බර් මස අගදී ආරම්භ කිරීමට නියමිතය. බීජ අර්තාපල්වලට අමතරව, වගාව හොඳින් ස්ථාපිත කර ගැනීම, ඵලදායිතාව ඉහළ නැංවීම සහ අස්වැන්නේ ගුණාත්මය වැඩිදියුණු කිරීම සඳහා කෘෂිකාර්මික යෙදවුම් සහ තාක්ෂණික මඟ පෙන්වීම ද මෙම ව්‍යාපෘතිය මඟින් ලබා දෙනු ලැබේ.

දේශීය බීජ නිෂ්පාදන පද්ධති සහ ගොවීන්ගේ තාක්ෂණික ශක්‍යතා ශක්තිමත් කරන අතරම, දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශවල එළවළු නිෂ්පාදනය යළි යථා තත්ත්වයට පත් කිරීමට මෙම ව්‍යාපෘතිය දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ජාතික සහ පළාත් කෘෂිකාර්මික බලධාරීන් සමඟ දිගටම සහයෝගයෙන් කටයුතු කරමින්, ගොවීන්ට තම කෘෂිකාර්මික ජීවනෝපාය යළි ගොඩනඟා ගැනීමට සහාය වීම FAO සංවිධානයේ සහ ඕස්ට්‍රේලියානු රජයේ අරමුණයි. එමෙන්ම, අනාගතයේදී ඇති විය හැකි දේශගුණය ආශ්‍රිත හදිසි බලපෑම්වලට ඔරොත්තු දීම සඳහා එළවළු නිෂ්පාදන පද්ධති වඩාත් ශක්තිමත් කිරීම ද මින් අපේක්ෂා කෙරේ.

අද දෙරණ