𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Business

තරුණ ප්‍රජාව තාක්ෂණික දැනුමෙන් සවිබල ගැන්වීමට Alumex PLC පෙරමුණ ගනී

  • අංග සම්පුර්ණ පහසුකම් වලින් සමන්විත නවීනතම පුහුණු මධ්‍යස්ථානයක්
  • ගෝලීය විෂය දැනුමට අනුගත වූ යාවත්කාලීන විෂය මාලාවක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් නිෂ්පාදන සන්නාමය වන Alumex PLC මෙරට තාරුණ්‍ය ගෝලීය වශයෙන් දැනුමෙන් හා පුහුණුවෙන් සන්නද්ධ කිරීමේ අරමුණින් කාර්මික හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව (DTET) සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම පසුගියදා සිදුවිය. මෙම අවබෝධතා ගිවිසුමේ මූලික අරමුණ වනුයේ තරුණ ප්‍රජාව රැකියා අවස්ථා සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුමෙන් සවිබල ගැන්වීමත්, මෙරට කර්මාන්ත ක්ෂේත්‍රය වෙනුවෙන් ශිල්පීය දැනුමෙන් පරිපූර්ණ ෆැබ්රිකේටර්වරුවන් දායාද කිරීමත්ය.

මෙම ගිවිසුම්ගතවීමට සමගාමීව Alumex PLC විසින් මරදාන කාර්මික විද්‍යාලයේ ජාත්‍යන්තර ප්‍රමීතින්ට අනුකූල නවීනතම බහුවිධ ආදර්ශ පුහුණු මධ්‍යස්ථානක් ස්ථාපිත කිරීම සිදුවන අතර, දිනෙන් දින වර්ධනය වන කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය දැනුම හා පුහුණුව ප්‍රායෝගිකව තරුණ ප්‍රජාව වෙනුවෙන් ලබාදීම මෙම පුහුණු මධ්‍යස්ථානයේ අරමුණයි. ඉදිරියේදී මෙබඳු ආදර්ශ පුහුණු මධ්‍යස්ථාන දිවයින පුරා පිහිටි ප්‍රධාන නගර ආශ්‍රීතව ස්ථාපිත කිරීමට ද සැලසුම් කර තිබේ.

මෙරට කර්මාන්ත ප්‍රමීතින් ඉහළ නැංවීම අරමුණු කරගත් මෙම නව්‍ය මුලපිරීම මඟින් සිසු සිසුවියන් වෙනුවෙන් ජාත්‍යන්තරව පිළිගත් යාවත්කාලීන විෂය මාලාවක් මෙන්ම අතී නවීන ශිල්පිය ක්‍රමවේදයන් හඳුන්වාදීම සිදුවේ. විෂය සමගාමී න්‍යායික දැනුම හා ප්‍රයෝගික දැනුම අතර පරස්පරතාව අවම කිරීමේ අරමුණින් Alumex PLC විසින් කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව සමඟ එක්ව මෙරට නව පරපුරේ නිර්මාණකරුවන් බිහිකිරීමේ ගවේෂණාත්මක ගමනක නිරතවෙමින් සිටියි.

Alumex PLC සමඟ ඇති කරගත් මෙම හවුල්කාරීත්වය මෙරට නිෂ්පාදන හා කර්මාන්ත අංශයේ ප්‍රමීතින් ඉහළ නැංවීමට මහඟු උපකාරීත්වයක් වන බවත්, මෙබඳු අංග සම්පුර්ණ පහසුකම් වලින් සමන්විත පුහුණු මධ්‍යස්ථාන දිවයින පුරා ස්ථාපිත කිරීමෙන් දේශීය තරුණ ප්‍රජාව දැනුම හා ආකල්ප වලින් සන්නද්ධ කිරීමටත්, ජාතික ආර්ථිකය වර්ධනය වෙනුවෙන් වටිනා ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමටත් හැකියාව ලැබෙනු ඇති බව මෙම හවුල්කාරීත්වය සම්බන්ධයෙන් කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව විසින් අදහස් පලකරන ලදී.

Alumex PLC හි කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රමුක් දැදිවෙල මහතා මෙම හවුල්කාරීත්වය පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය. “Aluminum නිෂ්පාදන කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් Alumex PlC නිරතුරුවම සිය දායකත්වය සපයනු ලබනවා. මෙබඳු පුහුණු වැඩසටහන් අපේ තරුණ පරපුරේ නව නිර්මාණකරුවන් තුළ නිවැරදි තාක්ෂණික දැනුම, කුසලතා මෙන්ම අවබෝධය ඇතිකිරීමට මහඟු උපකාරයක් වනු නොඅනුමානයි. එසේම ඔවුන්ට නවෝත්පාදනයන් සිදුකිරීම සඳහා අවශ්‍ය දිරිගැන්වීම අප නිරතුරුවම ලබාදෙනු ලබනවා.”

තවදුරටත් අදහස් දැක් වූ ප්‍රමුක් දැදිවෙල මහතා,” මෙම අවබෝධතා ගිවිසුම හරහා තරුණ ප්‍රජාව දැනුමෙන් පමණක් නොව ආර්ථික වශයෙන් ද සමෘද්ධිමත් කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරමින් නිවැරදි අධ්‍යාපනික පුහුණුව ලබාදීම අපගේ මූලික අරමුණ බවත් දේශීය මෙන්ම විදේශීය මට්ටමින් රැකියා අවස්ථා සඳහා අවශ්‍ය කරනු දැනුම ලබාදෙමින් ඔවුන් සවිබලගැන්වීමට අපි නිරතුරුවම කටයුතු කරනු ලබන බවත් පැවසීය.

1986 වසරේ සපුගස්කන්ද ප්‍රදේශයේ ඇලුමිනියම් ෆැබිරිකේටර් පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කරමින් දේශීය ෆැබිරිකේටර්වරුන් සවිබල ගැන්වීමට Alumex PLC කටයුතු කර ඇති අතර වසර 25ක් පුරාවට දේශීය නිෂ්පාදකයින් සවිබලගැන්වීම හා සංවර්ධනය වෙනුවෙන් Alumex PLC කැපවී කටයුතු කර මේ වනවිට 20,000කට පමණ අධික ෆැබ්රිකේටර්වරුන් පිරිසක් වෙනුවෙන් පුහුණු වැඩසටහන් දිවයින පුරා සංවිධානය කර තිබේ. තවද, Alumex PLC විවිධ පුහුණු වැඩසටහන් හරහා ගෝලීය වශයෙන් ඇලුමිනියම් පද්ධතින්ගේ ක්‍රියාකාරිත්වය පිළිබඳව අවබෝධය මෙරට නිෂ්පාදන කර්මාන්තය වෙත ලබාදෙමින් අනාගත කර්මාන්ත ක්ෂේත්‍රයේ පැවැත්ම වෙනුවෙන් කටයුතු කරනු ලබයි.