𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

ඉහළ තාක්ෂණික හා නවීන පහසුකම්වලින් සමන්විත අතිදැවැන්ත ගබඩා සංකීර්ණයක්

ලොව ඉහළ තාක්ෂණික හා නවීන පහසුකම්වලින් සමන්විත අතිදැවැන්ත ගබඩා සංකීර්ණයක් “ඩාර්ට් ග්ලෝබල් ලොජිස්ටික්ස්” (Dart Global Logistics) සමාගම් ජාලය විසින් කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ පසුගියදා විවෘත කෙරිණි.

මෙම ගබඩා සංකීර්ණය ඉදිකිරීම සඳහා කර ඇති ආයෝජනය ඇ.ඩො. මිලියන 10කි. වර්ග මීටර් 150,000ක වපසරියකින් යුතු මෙහි භාණ්ඩ පැටවීමේ ස්ථාන 24කින් සමන්විත වන අතර, ගබඩා සංකීර්ණය තුළ භාණ්ඩ පැලට් 23,000ක් ගබඩා කිරීමේ පහසුකම් පවතී.

ඉන්දියාව, මැලේසියාව, බංග්ලාදේශය වැනි රටවලින් රැගෙන එන විවිධ භාණ්ඩ, අගය එකතු කර නැවත ප්‍රතිඅපනයනය කිරීම සඳහා මෙම ගබඩා සංකීර්ණය භාවිත කර යොමු කෙරෙන අතර දේශීය සහ විදේශීය ආනයන-අපනයන වෙළෙඳාමේ නිරත වන්නන්ට මෙන්ම කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ නිෂ්පාදනද කොළඹ වරාය ඔස්සේ මෙන්ම කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේද ආනයන-අපනයනය සඳහා යොමු කිරීම මෙම ගබඩා සංකීර්ණය මඟින් සිදු කෙරේ.

මෙම සමාගම් ජාලය සතුව මුතුරාජවෙල ප්‍රදේශයේද මෙවැනිම ගබඩා සංකීර්ණයක් ඇති අතර, මෙයට අමතරව ගෝලීය වශයෙන් ඉන්දියාව, බංග්ලාදේශය, ඩුබායි, වියට්නාමය, සිංගප්පූරුව වැනි රටවලද මෙවැනිම ගබඩා සංකීර්ණ ජාලයක් පවතින බව ඩාර්ට් ග්ලෝබල් ලොජිස්ටික්ස් සමාගම් ජාලයේ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ හා සමූහ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් විජේසුන්දර මහතා පවසයි. මෙලෙස විවෘත කළ අතිනවීන ඉහළ පහසුකම්වලින් සමන්විත ගබඩා සංකීර්ණය ඔස්සේ සෘජු හා වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් උත්පාදනය වී ඇත.

මෙම ගබඩා සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති දුමින්ද හුළංගමුව, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල, ඩාර්ට් සමාගම් සමූහයේ සභාපති චාල්ස් විජේසුන්දර යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

උපුටා ගැනීම : දිනමිණ