𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

ආසියානු සංවර්ධන බැංකුවේ 2026–2029 ශ්‍රී ලංකා සංවර්ධන සැලසුම් පිළිබඳ සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංවර්ධන හවුල්කරුවෙකු ලෙස ආසියානු සංවර්ධන බැංකුවේ 2026–2029 කාලසීමාවට අදාළ, ශ්‍රී ලංකා සංවර්ධන සැලසුම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂිකා ෂැනන් කව්ලින් (Shannon Cowlin) යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ආසියානු සංවර්ධන බැංකුවේ 2027 වර්ෂය සඳහා වන වාර්ෂික වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් 2026 ඔක්තෝබර් මස 05 සහ 06 යන දෙදින පැවැත්වීමට නියමිත සැලසුම් සමාලෝචන රැස්වීමට පෙර සූදානමක් ලෙස මෙම සාකච්ඡාව පැවැත්විණි.

මෙහිදී ආසියානු සංවර්ධන බැංකුවේ දීර්ඝකාලීන ව්‍යාපෘති සැලසුම් සඳහා ඇතුළත් කිරීමේදී ප්‍රමුඛත්වය ලබාදිය යුතු සංවර්ධන ව්‍යාපෘති හඳුනා ගැනීම පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරිණි.

ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් මත ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් සම්බන්ධයෙන් රජයේ හිමිකාරිත්වය තහවුරු කිරීම, රාජ්‍ය ක්‍රියාවලීන් සහ ආසියානු සංවර්ධන බැංකුවේ ක්‍රියාවලීන් අතර පැහැදිලි සහ කාර්යක්ෂම සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාම මෙන්ම, සීමිත සහ සහනදායී මූල්‍ය සම්පත් හා තාක්ෂණික සහාය ඵලදායී ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවේ සංවර්ධන වේගය තවදුරටත් ඉහළ නංවමින් රාජ්‍ය මූල්‍ය ඉලක්ක කඩිනමින් ළඟා කර ගැනීමේදී මතුවන අභියෝගවලට සාර්ථකව මුහුණදීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සහ ක්‍රමවේද පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

ජනාධිපති අතිරේක ලේකම් ඩබ්ලිව්. ඩී. ආර්. ක්‍රිෂාන්ත සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ආචාර්ය ධනුෂ්ක පෙරේරා යන මහත්වරු සහ ආසියානු සංවර්ධන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

අද දෙරණ