𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

ආනයන රෙගුලාසි සහ ප්‍රතිපත්තිවල විෂමතා පිළිබඳව CMTA අවධානය යොමු කරයි.

දකුණු ආසියානු කලාපයේ ජ්‍යෙෂ්ඨතම රථ වාහන වෙළෙද සංගමය වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), සාමාන්‍ය ජනතාවට  අත්‍යවශ්‍ය භාණ්ඩයක් වන යතුරු පැදි, ආනයන සීමාවන්ට ලක්ව තිබිය දී, අධි මිලැති රූපවාහිනී සහ ජංගම දුරකථන වැනි අතිරික්ත භාණ්ඩ ආනයනය කිරීමේ  වර්තමාන ආනයන රෙගුලාසීන් හි පවතින ගැටලු පිළිබඳව සිය අවධානය යොමු කර තිබේ. මෙම සාධාරණ නොවන සීමා කිරීම් නිසා පොදු ප්‍රවාහනය මත යැපෙන ජනතාව, කුඩා ව්‍යාපාර හිමියන් ඇතුළු සියලුම පුරවැසියන් දෛනිකව දුෂ්කරතාවලට මුහුණ දෙන බැවින්, වඩාත් සාධාරණ ආනයන ප්‍රතිපත්තියක අවශ්‍යතාව සහ වටිනාකම පිළිබඳව CMTA පහදා දෙයි.

ජනගහනයෙන් සැලකිය යුතු පිරිසක් තම පවුලේ ප්‍රවාහන පහසුකම් සපුරා ගැනීම සහ ව්‍යාපාර වර්ධනය කිරීමේ දී  දුෂ්කරතාවන්ට මුහුණ දෙන විට, සාමාන්‍ය ජනතාවට මිල දී ගත නොහැකි සුඛෝපබෝගී භාණ්ඩ පමණක්ම ආනයනය කිරීම දැකීම කණගාටුදායක බවත්, පොදු ජනතාවට දැරිය හැකි මිලකට මිල දී ගත හැකි යතුරුපැදි වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය ප්‍රතික්ෂේප කරමින්, ඉහළ පෙළේ නිෂ්පාදන සඳහා අධික ලෙස මුදල් වැය කිරීමට ඉඩ සලසන, ආනයන රෙගුලාසිවල පවතින මෙම විෂමතාවය අසාධාරණ බවත් CMTA විශ්වාස කරයි.

ඇමරිකානු ඩොලර් 1,000ට සිට ඉහළ ආනයන මිල ගණන් සහිත සහ, රුපියල්  700,000 -1,000,000 සහ ඊට වැඩි සිල්ලර මිලකට අලෙවි කරන ඉහළ පෙළේ රූපවාහිනී වැනි සුඛෝපභෝගී භාණ්ඩ, ඇ.ඩො. 900ට වැඩි ආනයන මිල ගණන් සහිත, සිල්ලර මිල රුපියල් 1,000,000ක් වන දොර දෙකේ ශීතකරණවල සිට ඇ.ඩො 1000ට වැඩි ආනයන මිල ගණන් සහිත, සිල්ලර මිල රුපියල් 500,000-750,000 අතර ඇති  ඉහළ පෙළේ ස්මාට් ජංගම දුරකථන යනා දී සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය කිරීම  මෙරට ආදායම් විෂමතා තව දුරටත් උග්‍ර කරයි. සාපේක්ෂව 110cc පෙට්‍රල් ස්කූටරයක් ආනයන මිල ආසන්න වශයෙන් ඇ.ඩො. 650ක් ද, ත්‍රී රෝද රථයක් ඇ.ඩො. 1,300ක් ද වේ. ආනයන තහනම් ලැයිස්තුවෙන් භාණ්ඩ කිහිපයක් පසුගියදා ඉවත් කළ නමුත් යතුරුපැදි, ත්‍රීරෝද රථ වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ එම ලැයිස්තුවට එක් කර නොතිබීම කණගාටුවට කරුණකි.

වරප්‍රසාද ලත් සුළු පිරිසකගේ අභිලාසයන් පමණක් සැපිරීමට වඩා බහුතර ජනතාවගේ සුබසාධනය හා යහපත වෙනුවෙන් ප්‍රමුඛත්වය දෙන ආනයන රෙගුලාසිවල අවශ්‍යතාව CMTA පෙන්වා දෙයි. සාමාන්‍ය පුරවැසියන්ගේ දියුණුවට සහ රටේ වර්ධනයට දායක වීමට හැකි වන ලෙස සැමට එක හා සමාන අවස්ථා සහ සම්පත් ලබා ගත හැකි පරිසරයක් නිර්මාණය කිරීම ඉතා වැදගත් බවත්  CMTA සඳහන් කරයි.

මෙම ආනයන සීමා කිරීම් හේතුවෙන් සෘජුවම පීඩාවට පත් වන මහජනතාව සමඟ පුළුල් සංවාදයක නිරත වන ලෙස ප්‍රතිපත්ති සම්පාදකයින්ගෙන් සහ අදාළ බලධාරීන්ගෙන් CMTA ඉල්ලා සිටියි. ජනතාවගේ අවශ්‍යතා සහ අභිලාසයන් සමඟ සමපාත වන ලෙස විනිවිදභාවයෙන් යුතු සහ සැමට සමානව සැලසෙන ආනයන රෙගුලාසි මගින් වඩාත් සාධාරණ සමාජයක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය වේ. ආදායම් උත්පාදනයේ සහ ආර්ථික ප්‍රගති‍යේ  වැදගත්කම CMTA විසින් පිළිගන්නා නමුත්, ප්‍රතිපත්ති තීරණවල දී  බහුතර පුරවැසියන්ගේ යහපැවැත්ම ප්‍රමුඛ විය යුතු බව ද CMTA දක්වා සිටියි.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධිත, 1919 වසරේ දී ආරම්භ කරන ලද සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) දේශීයව පත් කරන ලද බලයලත් ඒජන්තවරුන් හරහා වාහන නිෂ්පාදකයින් නියෝජනය කරන එකම වෙළඳ ආයතනයයි. මෙය ආසියානු කලාපයේ ජ්‍යෙෂ්ඨතම රථ වාහන වෙළෙද සංගමය ද වේ.  CMTA සාමාජික ආයතන විසින් ශ්‍රී ලාංකික පුරවැසියන් දස දහස් ගණනක් සේවයේ යොදවා පුහුණු කරන අතර ඉංජිනේරු හා කළමනාකරණයේ වඩාත් හොඳ අන්තර්ජාතික ප්‍රායෝගික භාවිතයන් ලබා දෙමින් ජාත්‍යන්තර මට්ටමින් රැකියා කළ හැකි පිරිසක් නිර්මාණය කිරීමට දායක වෙයි. CMTA සාමාජිකයින් සියලු දෙනාවම ඔවුන් නියෝජනය කරන මෝටර් රථ නිෂ්පාදකයන් විසින් නිසි ලෙස අධීක්ෂණය කරනු ලබයි. ඔවුන් ආනයනය කරන වාහන සෘජුවම කර්මාන්ත ශාලාවෙන් නැව් ගත කරන අතර ඉන්ධනවල ගුණාත්මකභාවය, මාර්ගවල ස්වභාවය සහ දේශගුණය වැනි රටෙහි සුවිශේෂී තත්වයන්ට අනුකූල වන ලෙසින්  නිර්මාණය කර ඇත.