𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

ශ්‍රී ලංකාවේ සයිබර් ආරක්‍ෂාව සහ සයිබර් තර්ජන කළමනාකරණය ශක්තිමත් කිරීමට ඉන්දියාවේ සහාය

ශ්‍රී ලංකාවේ රාජ්‍ය පද්ධතීන් මුහුණදෙන වත්මන් සයිබර් ආරක්‍ෂක අභියෝග සහ ඒ සම්බන්ධයෙන් දෙරට අතර ද්විපාර්ශ්වික සයිබර් සහයෝගීතාව වර්ධනය කරගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය (ඉංජිනේරු) එරංග වීරරත්න මහතා සහ ඉන්දීය රජයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අතර අද (05 ) ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ දී පැවැත්විණි.

මෙම නියෝජිත පිරිස සඳහා ඉන්දීය විද්‍යුත් හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ, ඉන්දීය පරිගණක හදිසි ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායමේ (CERT-In) අධ්‍යක්ෂ ජනරාල් සහ සහතික කිරීමේ බලධාරීන්ගේ පාලක ආචාර්ය සංජේ බාල්, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ, සයිබර් රාජ්‍ය තාන්ත්‍රික, ඊ-පාලනය සහ තොරතුරු තාක්ෂණ ඒකාබද්ධ ලේකම් අමිත් ඒ. ශුක්ලා සහ කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ උපදේශක (ආර්ථික හා වාණිජ) දෙවිකා ලාල් යන මහත්ම මහත්මීන් ඇතුළත් වූහ.

මෙහිදී ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (Sri Lanka CERT) සයිබර් තර්ජන හඳුනාගැනීමේ සහ ප්‍රතිචාර දැක්වීමේ ධාරිතාවන් ඉහළ නැංවීම සඳහා ඉන්දියාවේ CERT-In ආයතනයේ මෙහෙයුම් අත්දැකීම් භාවිත කළ හැකි ආකාරය පිළිබඳව ප්‍රධාන වශයෙන් අවධානය යොමු විය. එමෙන්ම සයිබර් තර්ජන විශ්ලේෂණයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, රාජ්‍ය ආයතන සහ මහජනතාව සඳහා වන සයිබර් ආරක්ෂණ පුහුණු වැඩසටහන් ශක්තිමත් කිරීම මෙන්ම කෘත්‍රිම බුද්ධිය (AI) මගින් බලගැන්වූ ව්‍යුහාත්මක තර්ජන ඇගයීමේ ක්‍රමවේදයන් ස්ථාපිත කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

අන්තර්ජාල සේවා සපයන්නන් (ISPs), රජය, විශ්වවිද්‍යාල සහ පෞද්ගලික අංශය අතර පවතින සමීප සම්බන්ධීකරණය හරහා සයිබර් ආරක්ෂණය සහ ධාරිතා වර්ධනය උදෙසා ඉන්දියාව ක්‍රියාත්මක කරන හවුල්කාරී ආකෘතිය මෙන්ම, ජාතික සයිබර් ආරක්ෂණයේ ප්‍රධාන පදනමක් ලෙස මහජනතාව දැනුවත් කිරීමට ඉන්දියාව ලබාදී ඇති ප්‍රමුඛතාව පිළිබඳව ද ඉන්දීය නියෝජිත පිරිස මෙහිදී කරුණු පැහැදිලි කළහ.

ඩිජිටල් සහ සයිබර් ආරක්ෂණ ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ශක්තිමත් සහ වර්ධනය වන සහයෝගීතාව මෙම සාකච්ඡාව හරහා තවදුරටත් තහවුරු වූ අතර, දෙරටේ අත්දැකීම් සහ දැනුම හුවමාරු කරගනිමින් ඉදිරි සහයෝගීතාවයන් සඳහා වන මාර්ගයන් විමසා බැලීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ විය.

අද දෙරණ