𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

දිට්වා නිසා හානියට පත් මාර්ග නැවත ඉදිකිරීමට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 110ක්

දිට්වා සුළිකුණාටුව හේතුවෙන් දැඩි ලෙස හානියට පත් ශ්‍රී ලංකාවේ මාර්ග කිලෝමීටර් 600 ක් පිළිසකර කිරීම සහ නැවත ඉදිකිරීම සඳහා ලෝක බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 110 ක මුදලක් අනුමත කර ඇත.

ජාත්‍යන්තර සංවර්ධන සංගමයේ (International Development Association) අර්බුද ප්‍රතිචාර කවුළුව (Crisis Response Window) හරහා ලබා දී ඇති මෙම මූල්‍ය ප්‍රතිපාදන මගින්, සුළිකුණාටුවෙන් දැඩි ලෙස බලපෑමට ලක්වූ ප්‍රජාවන්හි වෙළඳපොළවල්, පාසල් සහ සෞඛ්‍ය පහසුකම් වෙත ප්‍රවේශය සපයන මාර්ග පිළිසකර කිරීම හා නැවත ඉදිකිරීම සඳහා ප්‍රමුඛතාව හිමිවේ. නැවත ඉදිකරනු ලබන මාර්ග, වැඩිදියුණු කළ ජලාපවහන පද්ධති, නායයෑම් ආරක්ෂණ පියවර සහ නිතර සිදුවන දැඩි කාලගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙන පරිදි යාවත්කාලීන කරන ලද ඉංජිනේරු තාක්ෂණයන් ඇතුළත් කාලගුණික විපර්යාසවලට ඔරොත්තු දෙන ප්‍රමිතීන්ට අනුකූලව සකස් කෙරෙනු ඇත.

මෙම නව අරමුදල් සම්පාදනය මගින් දැනට ක්‍රියාත්මක වන Inclusive Connectivity and Development Project (ICDP) ව්‍යාපෘතිය තවත් වසර තුනකින් දීර්ඝ වන අතර, එමගින් ශ්‍රී ලංකාවේ ප්‍රවාහන සබඳතා වෙනුවෙන් ලෝක බැංකුව සිදුකර ඇති මුළු ආයෝජනය ඩොලර් මිලියන 610 දක්වා ඉහළ යනු ඇති බව ලෝක බැංකුව විසින් නිවේදනය කර සිටී.

අද දෙරණ