නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ‘Beyond Ordinary – Nations Business Advisory’ හරහා ව්‍යාපාරික සබඳතා තවදුරටත් ඉදිරියට

වෙනස් වන ව්‍යාපාරික පරිසරය තුළ නිවැරදි තීරණ ගැනීමට අවශ්‍ය කාලීන ආර්ථික විශ්ලේෂණයන්, ක්ෂේත්‍ර ප්රවීණයන්ගේ උපදේශන සහ ව්‍යාපාරික සබඳතා වැඩි දියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන ‘Beyond Ordinary – Nations Business Advisory’ වැඩසටහන හරහා ව්‍යාපාරික නායකයින් සහ ව්‍යවසායකයින් අතර ධනාත්මක ව්‍යාපාරික සාකච්ඡා ඇති කිරීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව අඛණ්ඩව කටයුතු කරයි.
ප්‍රධාන ආර්ථික සහ ව්‍යාපාරික වර්ධනයන් පිළිබඳව සාකච්ඡා කිරීමට මෙම වැඩසටහන කදිම වේදිකාවක් වන අතර, එමඟින් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව අතර පවතින සබඳතා ශක්තිමත් කරන අතරම, මතුවන නව අවස්ථා සහ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීමට ව්‍යාපාරවලට මඟ පාදයි.
මෙම වැඩසටහනේ නවතම අදියර මහනුවරදී පැවැත්වුණු අතර, වෙනස් වන ආර්ථික රටාව පිළිබඳව අදහස් හුවමාරු කරගැනීම සහ දැනුම බෙදාගැනීම සඳහා ප්‍රදේශයේ ව්‍යාපාරික නායකයින් සහ ව්‍යවසායකයින් රැසක් ඒ සඳහා එක්විය. එහිදී සහභාගී වූවන්ට ආර්ථික ප්රවණතා, බදු සංවර්ධනයන් සහ ව්‍යාපාරික පරිසරයට බලපාන කරුණු පිළිබඳව විශේෂඥ අදහස් ලබා ගැනීමටත්, ක්ෂේත්රයේ ප්‍රමුඛයන් සහ ප්‍රවීණයන් සමඟ සබඳතා ගොඩනඟා ගැනීමටත් අවස්ථාව හිමිවිය.
මෙහි ප්‍රධාන දේශනය පවත්වමින් Advocata Institute හි ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප්‍රනාන්දු මහතා, ආර්ථික ප්රවණතා, වෙළඳපල වෙනස්වීම් සහ දියුණු වන ව්‍යාපාරික වටපිටාව පිළිබඳව සිය අදහස් ඉදිරිපත් කළේය. ප්‍රධාන දේශනයට පසුව පැවැත්වුණු විශේෂ සාකච්ඡාව සඳහා Moore Consulting හි කළමනාකාර අධ්යක්ෂ සහ CA Sri Lanka හි සභාපති ටිෂාන් සුබසිංහ, ධනනාත් ප්‍රනාන්දු සහ නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ වාණිජ බැංකුකරණ අංශයේ ජ්‍යෙෂ්ඨ විධායක උප සභාපති අරෝෂ ලියනආරච්චි යන මහත්වරුන් සහභාගී වූහ.
මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් අරෝෂ ලියනආරච්චි මහතා මෙසේ පැවසීය. “Beyond Ordinary – Nations Business Advisory වැඩසටහන ආරම්භ කළේ ව්‍යාපාරික නායකයන්, ක්ෂේත්‍ර ප්‍රවීණයන් සහ අපගේ ගනුදෙනුකරුවන් එකම තැනකට ගෙන එමින් ව්‍යාපාරික සාර්ථකත්වයට බලපාන කරුණු පිළිබඳව අර්ථවත් සංවාදයක් ගොඩනැඟීමේ අරමුණිනුයි. පසුගිය වසර 5 පුරාවටම අප මෙම වැඩසටහන අඛණ්ඩව දියුණු කරමින්, අපගේ ගනුදෙනුකරුවන්ට ලබා දෙන වටිනාකම තවදුරටත් ඉහළ නැංවීමට කටයුතු කළා. ව්‍යාපාරවල සාර්ථකත්වය සහ වර්ධනයට ආර්ථික සංවර්ධනයන් සෘජුවම බලපාන මෙවැනි වටපිටාවක, නිවැරදි විශ්ලේෂණයන් සහ විවිධ ක්ෂේත්රවල අදහස් ලබාගැනීමට හැකිවීම ඉතා වටිනවා. මෙම වැඩසටහන හරහා ව්‍යාපාරවලට අවශ්‍ය දැනුම සහ ප්‍රායෝගික මාර්ගෝපදේශනය ලබා දෙමින්, නිවැරදි තීරණ ගැනීමටත්, වෙනස්වීම්වලට අනුකූලව කටයුතු කරමින් තිරසාර වර්ධනයක් සඳහා වන අවස්ථා හඳුනා ගැනීමටත් සහාය වීම අපගේ අරමුණයි.”
මීට අමතරව, මහේල ජයවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන Trail Sri Lanka වැඩසටහනේ කරාපිටිය පිළිකා රෝහල් ව්‍යාපෘතිය පිළිබඳව ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීමට සහ එම සුවිශේෂී ජාතික කර්තව්‍යය සඳහා ඔවුන්ගේ සහයෝගය ලබා ගැනීමට ද මෙම මහනුවර වැඩසටහනේදී අවස්ථාව සැලසිණි.
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, විවිධ පාරිභෝගික සේවා මධ්‍යස්ථාන හරහා පුද්ගලික, වාණිජ සහ ආයතනික යන අංශ සඳහා ඩිජිටල් හා භෞතික යන ද්විත්ව මාධ්‍යයන්ගෙන් යුත් පුළුල් පරාසයක සේවාවන් සපයයි. තවද, බැංකුව අති නවීන ඩිජිටල් බැංකුකරණ තාක්ෂණයන් හරහා පාරිභෝගිකයන් සවිබල ගැන්වීම කෙරෙහි ද අඛණ්ඩව අවධානය යොමු කරයි. නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ශ්‍රී ලංකාවේ ඇමරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත් නිකුත් කිරීමේ සහ සේවාවන් සපයන බලයලත් එකම ආයතනය වන අතර, ප්රමුඛ පෙළේ බැංකුකරණ ක්ෂේත්රයේ ප්රමුඛස්ථානයක් අඛණ්ඩව තහවුරු කරගෙන සිටියි.
අවසන්




