𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

Dragons of Sri Lanka හිදී BAN ආයතනය රන් සහ රිදී සම්මානවලින් පිදුම් ලබයි

Boutique Agency Network – BAN ශ්‍රී ලංකාවේ වඩාත්ම සාර්ථක සහ ඵලදායී නිර්මාණාත්මක සමාගමක් බව නැවත වරක් තහවුරු කරමින්, මෙවර Dragons of Sri Lanka සම්මාන උළෙලේ දී ‘Integrated Marketing Campaign’ කාණ්ඩය යටතේ රන් සම්මානය හිමිකර ගැනීමට සමත් විය. CBL හි ‘Munchee’ සන්නාමය වෙනුවෙන් දියත් කළ “පිය කිරුළ” පියවරුන්ගේ දින ප්‍රචාරණ ව්‍යාපාරය වෙනුවෙන් මෙම සම්මානය හිමිවිය. Dragons of Sri Lanka සම්මාන උළෙලේ ප්‍රධාන කාණ්ඩයෙන් දෙවන වරටත් රන් සම්මානය දිනා ගැනීමට සමත් වූ BAN ආයතනය,නව්‍ය නිර්මාණශීලීත්වය සහ සාර්ථක වෙළඳ ප්‍රචාරණය අතින් ක්ෂේත්‍රයේ ප්‍රමුඛස්ථානයෙහි පසුවන බව නැවතත් තහවුරු කරන ලදී.

සිලෝන් බිස්කට් සමාගමේ (CBL) ප්‍රමුඛතම සන්නාමය වන ‘Munchee’’ වෙනුවෙන් නිර්මාණය කරන ලද මෙම “පිය කිරුළ” ප්‍රචාරණ ව්‍යාපාරය හුරුපුරුදු සන්නාම සංකේතයක් මුළු රටටම කෘතඥතාව පළ කරන ප්‍රබල සංකේතයක් බවට පත් කළේය. ශ්‍රී ලාංකිකයන් තම පියවරුන්ට කෙතරම්  ආදරය කළත්, ඔවුන්ව ප්‍රසිද්ධියේ අගය කරන්නේ කලාතුරකින් බව යන සංවේදී සත්‍යය මෙයට පදනම් විය.

CBL ආයතනික සංකේතයේ සෑම විටම පැවති සලකුණක් වන ‘කිරුළ’ ඇසුරෙන් මෙම නිර්මාණාත්මක සංකල්පය ගොඩනැඟිණි. ඒ අනුව 2025 පියවරුන්ගේ දිනය වෙනුවෙන් BAN ආයතනය එම කිරුළ, නිවසේ සිටින “කිරුළු නොපළන් රජවරුන්” වෙනුවෙන් කෙරෙන අගය කිරීමේ සංකේතයක් ලෙස නැවත අර්ථ නිරූපණය කළේය.

ආදරය සහ ඇගයීම ප්‍රකාශ කිරීමේ සරල ක්‍රියාවක් ලෙස තම පියවරුන්ට කිරුළු පළඳවන ලෙස මෙම ප්‍රචාරණ ව්‍යාපාරය මඟින් ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කරන ලදී. ඒ අනුව, ජාතික පුවත්පත් හරහා මුද්‍රණය කර බෙදාහැරී කිරුළ කපා වෙන්කරගෙන, නිවසේ දී තම පියාට කිරුළු පැළඳවීමට දිවයින පුරා සිටින පවුල්වලට අවස්ථාව ලැබුණි. තරුණ පරම්පරාව අතරට මෙම සංකල්පය ගෙන යාම සඳහා TikTok Crown Filter හඳුන්වා දුන් අතර, එම සංකල්පයේ ඇති සංවේදී අර්ථය පැහැදිලි කරමින් ඩිජිටල් වීඩියෝ පටයක් ද   නිකුත් කෙරිණි.

මෙම ප්‍රචාරණ ව්‍යාපාරය හුදෙක් සන්නාම සන්නිවේදනයකින් ඔබ්බට ගොස් සාමාන්‍ය ජනතාව අතර වඩාත් ජනප්‍රිය අංගයක් බවට පත් විය. දිවයින පුරා සිටින ප්‍රකට පුද්ගලයින්, සමාජ මාධ්‍ය අන්තර්ගත නිර්මාණකරුවන්,  සමාජ මාධ්‍ය පිටු, නිර්මාණකරුවන්, පාසල් සහ පවුල් රාශියක් මේ සඳහා එකතු වූහ. ප්‍රමුඛ මාධ්‍ය නාළිකා සහ එළිමහන් ප්‍රචාරණ පාර්ශවකරුවන්ගේ සහය ද ඊට හිමිවූ අතර, එමඟින් 2025 වසරේ ශ්‍රී ලංකාවේ වැඩිම අවධානයක් දිනාගත් පියවරුන්ගේ දින ප්‍රචාරණ ව්‍යාපාරය බවට “පිය කිරුළ” පත් විය.

මෙවර Dragons of Sri Lanka සම්මාන උළෙලේ දී BAN ලැබූ සාර්ථකත්වය තවදුරටත් වර්ධනය කරමින්, ‘වටවල’ සන්නාමය වෙනුවෙන් ඉදිරිපත් කළ සංකල්පය සඳහා ‘Best Innovative Concept’ කාණ්ඩය යටතේ රිදී සම්මානයක් දිනා ගැනීමට ද ඔවුන් සමත් විය. විවිධ සන්නාම සහ ක්ෂේත්‍රයන් පුරා BAN ආයතනයේ ඇති නිර්මාණාත්මක බලපෑම මෙමඟින් පෙන්නුම් කෙරේ.

‘Munchee පිය කිරුළ’ වෙනුවෙන් රන් සම්මානයක්, ‘වටවල’ වෙනුවෙන් රිදී සම්මානයක් සහ අලෙවිකරණ කාණ්ඩයේ පිට පිටම ලබාගත් රන් සම්මාන ජයග්‍රහණ සමඟින්, සාර්ථක ප්‍රචාරණ ව්‍යාපාරයක් යනු හුදෙක් මාධ්‍ය භාවිතය පමණක් නොවන බව BAN යළිත් තහවුරු කර ඇත. එය ජනතාව ක්‍රියාකාරීව එකතු වන, හුවමාරු කරගන්නා සහ මතකයේ තබාගන්නා සංකල්ප නිර්මාණය කිරීමකි.

BAN ආයතනයට අනුව මෙම ඇගයීම හුදෙක් සම්මානයකට එහා ගිය එකකි. හොඳම ප්‍රචාරණ ව්‍යාපාරයන් නිර්මාණය වන්නේ සන්නාම සත්‍යය, සංස්කෘතික සත්‍යය සහ මානව සත්‍යය යන ත්‍රිත්වයේ එකතුවෙන් බවට BAN තබන විශ්වාසය මෙම ජයග්‍රහණයෙන් මනාව තහවුරු වේ.