𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

දේශීය හා ගෝලීය අධ්‍යාපනික මෙන්ම වෘත්තීය අවස්ථාවන්ට දොරටු විවර කරන EDEX Mid-Year Expo 2026

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අධ්‍යාපන සහ රැකියා ප්‍රදර්ශනය වන EDEX Mid-Year Expo 2026, එළැඹෙන සැප්තැම්බර් 5 සහ 6 යන දිනවල කොළඹ BMICH හිදී නැවතත් පැවැත්වීමට කටයුතු යොදා ඇත. අධ්‍යාපන ආයතන, සේවා යෝජකයින් සහ ජාත්‍යන්තර ප්‍රදර්ශකයින් එකම වහලක් යටට ගෙන එන මෙම ප්‍රදර්ශනය, සිසුන්ට, රැකියා අපේක්ෂකයන්ට සහ වෘත්තිකයන්ට තම අනාගතය පිළිබඳ නිවැරදි තීරණ ගැනීමට අසමසම අවස්ථාවක් සලසා දෙයි.      

දින දෙකෙහිම පෙ.ව. 9.30 සිට ප.ව. 6.00 දක්වා මහජනතාව සඳහා විවෘතව පවතින මෙම ප්‍රදර්ශනය හරහා දිවයිනේ කීර්තිමත් අධ්‍යාපන ආයතන 45කට ආසන්න සංඛ්‍යාවක්, ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ආයතන 10ක් සහ ෆින්ලන්තය හා ජපානය යන රටවල ජාත්‍යන්තර ප්‍රදර්ශකයන් සෘජුවම මුණගැසීමේ අවස්ථාව හිමිවේ. ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශයන්හි උසස් අධ්‍යාපන සහ රැකියා අවස්ථා ගවේෂණය කිරීමට ඉඩ සලසමින්, තම අධ්‍යාපනය, කුසලතා සහ වෘත්තීය අනාගතය සවිබල ගන්වා ගැනීමට අපේක්ෂා කරන ඕනෑම අයෙකුට අවශ්‍ය සියලුම තොරතුරු එකම ස්ථානයකින් ලබාගත හැකි පරිදි මෙය සංවිධානය කර ඇත. 

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ මැලේසියානු මහකොමසාරිස් අතිගරු බද්ලි හිෂාම් ආදම් මහතා ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වෙමින් මෙම උළෙල නිල වශයෙන් විවෘත කිරීමට නියමිතය.

අ.පො.ස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග නිමකළ හෝ ඊට පෙනී සිටීමට සූදානම් වන සිසුන්ට විවිධ අධ්‍යාපන මාර්ග සැසඳීමටත්, උසස් අධ්‍යාපන ආයතන පිළිබඳව අධ්‍යයනය කිරීමටත්, පාසල් අධ්‍යාපනයෙන් ඔබ්බට ඇති අවස්ථා පිළිබඳව දැනුවත් වීමටත් EDEX හරහා විශාල පිටිවහලක් ලැබේ. දෙමාපියන්ට සහ භාරකරුවන්ට තම දරුවන් සඳහා පවතින සුදුසුම තේරීම් පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගැනීමට ද මෙය මඟ පාදයි. එමෙන්ම වෘත්තිකයන්ට සහ රැකියා අපේක්ෂකයන්ට සේවා යෝජකයන් සමඟ සම්බන්ධ වීමටත්, වෘත්තීය සංවර්ධන අවස්ථා හඳුනා ගැනීමටත් මෙම ප්‍රදර්ශනය කදිම වේදිකාවකි.  

EDEX Mid-Year Expo 2026 හි ප්‍රධානතම අංගයක් වන EDEX Job Fair හරහා ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරන ප්‍රමුඛ සමාගම් එක්රැස් වේ. එමඟින් රැකියා අපේක්ෂකයන්ට සහ යොවුන් වෘත්තිකයන්ට රැකියා අවස්ථා ගවේෂණය කිරීමටත්, සේවා යෝජකයන් සමඟ සෘජුවම සම්බන්ධ වීමටත් අවස්ථාව සැලසේ. සෞඛ්‍ය සංරක්ෂණ, FMCG, කෘෂිකර්මාන්ත, ගුවන් සේවා, භාණ්ඩ ප්‍රවාහන, විදුලි සංදේශ, රථවාහන, ප්‍රවාහන, මෘදුකාංග, බැංකු සහ මූල්‍ය යන ක්ෂේත්‍ර නියෝජනය කරන සමාගම් රැසක් මේ සඳහා සහභාගී වේ. මෙම Job Fair සංවිධානය කර ඇත්තේ රැකියා සහ වෘත්තීය දියුණුව අපේක්ෂා කරන්නන් හා නව දක්ෂතාවලින් යුත් පිරිස් සොයන ආයතන එකිනෙක සම්බන්ධ කිරීමේ අරමුණිනි.  

මේ පිළිබඳව අදහස් දක්වමින් EDEX සභාපති මහින්ද ගලගෙදර මහතා, “ශ්‍රී ලාංකේය තරුණ තරුණියන්ට මීළඟ විභාගයෙන් ඔබ්බට සිතමින්, තම අනාගත ඉලක්ක පිළිබඳව අවධානය යොමු කිරීමට උපකාර කිරීම EDEX හි නිබඳ අරමුණයි. දශක දෙකක කාලය පුරා අධ්‍යාපනය, කුසලතා සහ රැකියා අවස්ථා එකිනෙක යා කරන සුවිශේෂී වේදිකාවක් ගොඩනැගීමට අපි සමත් වුණා. තරුණ පරපුරට සහ ඔවුන්ගේ පවුල්වලට අනාගතය වෙනුවෙන් සාර්ථක තීරණ ගැනීමට අවශ්‍ය මඟපෙන්වීම ලබා දෙමින් මෙම Mid-Year Expo හරහාත් අප ඉටු කරන්නේ එම ජාතික වගකීමයි,” යැයි පැවසීය.

2026 ප්‍රදර්ශනය මඟින් ශ්‍රී ලාංකේය තරුණ තරුණියන්ට ගෝලීය අධ්‍යාපන සහ රැකියා වෙළඳපොළට අවතීර්ණ වීමට ඇති අවස්ථාවන් තවදුරටත් ශක්තිමත් කෙරේ. දේශීය සමාගම් සහ අධ්‍යාපන ආයතනවලට අමතරව ෆින්ලන්තය සහ ජපානය වැනි රටවල ජාත්‍යන්තර ප්‍රදර්ශකයන් ද මීට එක්වන බැවින්, දේශීය අවස්ථාවලට අමතරව විදේශීය අධ්‍යාපන හා වෘත්තීය මාවත් පිළිබඳව ද සොයා බැලීමට පැමිණෙන පිරිසට අවස්ථාව හිමිවේ.            

EDEX Mid-Year Expo 2026 හි ව්‍යාපෘති සභාපති චතුෂික නිස්සංක මහතා අදහස් දක්වමින්, “ප්‍රදර්ශනයට පැමිණෙන අය සියලු ප්‍රශ්නවලට පිළිතුරු සූදානම් කරගෙන පැමිණීම අවශ්‍ය වන්නේ නැහැ. විවිධ තේරීම් සැසඳීමටත්, නිවැරදි ප්‍රශ්න ඇසීමටත්, තමන්ට ඉදිරියට යාමට උපකාර කළ හැකි ආයතන සමඟ සෘජුවම සාකච්ඡා කිරීමටත් EDEX විසින් හොඳ මඟපෙන්වීමක් ලබා දෙනවා. උසස් අධ්‍යාපනය තෝරාගැනීම, විදේශීය අවස්ථා හඳුනාගැනීම, නව කුසලතා ප්‍රගුණ කිරීම හෝ රැකියාවක් සෙවීම යන ඕනෑම අවශ්‍යතාවකට ගැළපෙන වටිනා තොරතුරු රැසක් මෙහිදී සොයාගත හැකියි,” යනුවෙන් ප්‍රකාශ කළේය.

EDEX ඉතිහාසයේ ප්‍රථම වතාවට, සිය වෘත්තීය මාර්ගෝපදේශන සේවාවේ කොටසක් ලෙස මනෝමිතික පරීක්ෂණය  ඩිජිටල්කරණය කර ඇති අතර, එමඟින් තරුණ තරුණියන්ට වඩාත් පහසුවෙන් ඊට එක්වීමේ අවස්ථාව සලසා ඇත. ප්‍රදර්ශනයට පැමිණීමට පෙර, තමන්ගේම ජංගම දුරකථනය භාවිතයෙන් ඕනෑම වේලාවක ඔන්ලයින් ක්‍රමයට ‘Career Key’ පරීක්ෂණයට මුහුණ දීමට සහභාගී වන්නන්ට හැකියාව පවතී.   

සහභාගී වන්නන්ට එහි ප්‍රතිඵල තම ස්මාර්ට්ෆෝන් හරහා හෝ මුද්‍රිත පිටපතක් ලෙස ප්‍රදර්ශනය වෙත ගෙන ආ හැකි අතර, ලංකා වෘත්තීය මාර්ගෝපදේශන සංගමයේ (CCGA) සුදුසුකම් ලත් වෘත්තීය උපදේශකයන් විසින් එම ප්‍රතිඵල විශ්ලේෂණය කර දෙනු ලැබේ. එහිදී එකිනෙකාගේ රුචිකත්වයන්, ශක්තීන්, හැකියාවන් සහ අපේක්ෂාවන් මත පදනම්ව පුද්ගලිකවම උපදෙස් ලබාදීම සිදු කෙරේ. සිසුන් සහභාගී වන අවස්ථාවලදී දෙමාපියන්ට ද මෙම උපදේශන වාර සඳහා එක්විය හැකිය.

මෙම වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන මඟින් සිසුන්ට, දෙමාපියන්ට, රැකියා අපේක්ෂකයන්ට, යොවුන් වෘත්තිකයන්ට මෙන්ම මහජනතාවට ද තම පෞද්ගලික පසුබිම සහ දිනෙන් දින වෙනස් වන රැකියා වෙළඳපොළේ ඉල්ලුමට ගැළපෙන පරිදි සුදුසු අධ්‍යාපන, පුහුණු සහ වෘත්තීය තේරීම් හඳුනා ගැනීමට උපකාරී වේ.

අග්‍රාමාත්‍ය කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය, කම්කරු අමාත්‍යාංශය සහ පරිසර අමාත්‍යාංශය යන රාජ්‍ය ආයතනවල පූර්ණ අනුමැතිය සහ සහාය මෙම උළෙල වෙත හිමිව තිබීමෙන්, රටේ තරුණ පරපුර උදෙසා අධ්‍යාපනය, කුසලතා සංවර්ධනය සහ රැකියා අවස්ථා නිර්මාණය කිරීමෙහි ඇති ජාතික වැදගත්කම මනාව පිළිබිඹු වේ.  

ලංකා සේවා යෝජකයන්ගේ සම්මේලනය, ලංකා වාණිජ මණ්ඩලය සහ ලංකා වෘත්තීය මාර්ගෝපදේශන සංගමය මෙහි උපායමාර්ගික හවුල්කරුවන් ලෙස කටයුතු කරයි. NIBM City University, Mogo Media Academy සහ Colombo Institute of Research & Psychology (CIRP) යන ආයතන ප්ලැටිනම් අනුග්‍රාහකයන් ලෙසත්, CINEC Campus, APIIT සහ ACBT යන ආයතන රන් අනුග්‍රාහකයන් ලෙසත් දායකත්වය ලබා දෙයි. EDEX Mid-Year Expo 2026 හි නිල බැංකු සහකරු ලෙස ජාතික ඉතිරි කිරීමේ බැංකුව (NSB) කටයුතු කරයි.               

මෙහි මුද්‍රිත මාධ්‍ය සහකරු ලෙස විජය පුවත්පත් සමාගම ද, නිල විදුලි සංදේශ සහකරු ලෙස SLT-Mobitel ද, ඩිජිටල් මාධ්‍ය සහකරු ලෙස Sense ද, මහජන සම්බන්ධතා සහකරු ලෙස PR Wire ද කටයුතු කරනු ලබයි.  

ශ්‍රී ලාංකේය තරුණ පරපුරට ප්‍රායෝගික දැනුම, අභිප්‍රේරණය සහ නවමු දැක්මක් ලබාදීමේ අරමුණින් EDEX විසින් ආරම්භ කරන ලද ‘EDUCAST’ යනු තරුණ පරපුර වෙනුවෙන්ම වෙන්වූ Podcast වේදිකාවකි. එය මලින්ද අලහකෝන්, ආචාර්ය කිෂූ ගෝමස්, චතුරංග අබේසිංහ, දුලිත් හේරත්, චලින්ද අබේකෝන්, ධනික පෙරේරා, යොහානි ද සිල්වා, දුෂ්‍යන්ත් වීරමන්, රුමේෂ් තරංග සහ ධනාත් ප්‍රනාන්දු වැනි ප්‍රමුඛයන්ගේ සහභාගීත්වයෙන් යුත් වැඩසටහන් Episodes 10ක් මේ වන විටත් නිකුත් කර ඇත.   

මීට අමතරව, EDEX 365 හි අනු සන්නාමයක් වන ‘EDUSPORT’ වැඩසටහන ද මෑතකදී හඳුන්වා දෙන ලද්දේ අධ්‍යාපනය සහ ක්‍රීඩාව ඒකාබද්ධ කරමින් ප්‍රාථමික හා ද්විතියික පාසල් සිසුන් සවිබල ගැන්වීමේ අරමුණිනි. ක්‍රීඩාව සහ ක්‍රියාකාරකම් පදනම් කරගත් ඉගෙනුම් ක්‍රමවේද හරහා සිසුන්ගේ තර්කානුකූල චින්තනය සහ ගැටලු විසඳීමේ කුසලතා වර්ධනය කිරීම කෙටිකාලීනව මෙහි ප්‍රධාන ඉලක්කයයි. ක්‍රීඩාව සහ අධ්‍යාපනික වර්ධනය එකිනෙක යා කිරීම සඳහා ජාත්‍යන්තරව සාර්ථකව යොදාගෙන ඇති ක්‍රමවේදයන් ඇසුරින් පාපන්දු, චෙස් සහ දුනු විදීම වැනි ක්‍රීඩාවන් සමඟ සම්බන්ධ වෙමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. 

EDEX Mid-Year Expo 2026 හි ව්‍යාපෘති ලේකම් කාවිංග ගුණසේකර මහතා අදහස් දක්වමින්, “අපගේ අරමුණ වන්නේ ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන දින දෙකෙන් තරුණ පරපුර උපරිම ප්‍රයෝජන ගන්නවා දැකීමයි. පැමිණෙන පිරිසට ප්‍රශ්න අසන්න, පවතින තේරීම් ගැන සිතන්න, සුදුසු පුද්ගලයන් සමඟ සාකච්ඡා කර අනාගතය පිළිබඳ හොඳ අවබෝධයක් ඇතිව ආපසු යන්න කියා අපි ඇරයුම් කරනවා. මෙම අවස්ථාවෙන් ලබාගන්නා ප්‍රයෝජනය මතයි ප්‍රදර්ශනයේ සැබෑ වටිනාකම තීරණය වන්නේ,” යැයි පැවසීය.    

දේශීය හා ජාත්‍යන්තර අධ්‍යාපන අවස්ථා, කුසලතා සංවර්ධනය, වෘත්තීය මාර්ගෝපදේශනය සහ රැකියා අවස්ථා සියල්ල එකම ස්ථානයකට ගෙන එන EDEX Mid-Year Expo 2026, ඔබේ අනාගත ජයග්‍රාහී පියවර තැබීම සඳහා ඇති හොඳම ප්‍රායෝගික ආරම්භයයි.         

EDEX Mid-Year Expo 2026 ප්‍රදර්ශනය නැරඹීම සඳහා සැප්තැම්බර් 5 සහ 6 යන දිනවල පෙ.ව. 9.30 සිට ප.ව. 6.00 දක්වා කොළඹ BMICH වෙත පැමිණෙන ලෙස සංවිධායක මණ්ඩලය මහජනතාවට ඇරයුම් කර සිටියි.        

වැඩිවිස්තර සඳහා 011 3091086 හෝ 076 8204975 යන දුරකථන අංක ඔස්සේ EDEX ලේකම් කාර්යාලය හා සම්බන්ධ විය හැක. 

එකම තැනකින් – වැඩි තේරීම් රැසක්. ඔබේ අනාගතයේ ඊළඟ පියවර EDEX වෙතින් ආරම්භ කරන්න.

අවසන්