𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

Alumex PLC අධිවේගී මාර්ග වන වගා ව්‍යාපෘතියට සහය දක්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් ආස්තරණ නිෂ්පාදන සන්නාමය මෙන්ම Hayleys PLC සමූහයේ සාමාජිකයෙකු වන Alumex PLC, මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) සහ දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙහෙයුම් හා නඩත්තු කළමනාකරණ කොට්ඨාසය සමඟ එක්ව ගැලණිගම සහ මීරිගම-කුරුණෑගල අධිවේගී මාර්ග කොටස් දෙපස දේශීය ශාක 600 ක් පමණ රෝපණය කිරීමට පියවර ගන්නා ලදී. මී, කුඹුක් සහ කහ කරඳ වැනි ශාක විශේෂ රෝපණය කරන ලද මෙම වැඩසටහන මගින් පාරිසරික බලපෑම අවම කරමින් සහ සහයෝගීත්වය වර්ධනය කරගනිමින් ශ්‍රී ලංකාවේ ස්වාභාවික පරිසර පද්ධති යථා තත්ත්වයට පත් කිරීමේ Alumex PLC සමාගමේ පුළුල් තිරසාර පාරිසරික න්‍යායපත්‍රය මැනවින් පිළිඹිබු කරයි.

දේශීය ශාක ආවරණය ඉහළ නැංවීම මගින්, යටිතල පහසුකම් සංවර්ධනය නිසා බලපෑමට ලක්වූ ප්‍රදේශවල පාරිසරික සමතුලිතතාවය නැවත ඇති කිරීමටත්, දිගුකාලීන ජෛව විවිධත්ව සංරක්ෂණයට සහාය වීමටත් මෙම ව්‍යාපෘතිය දායක වේ. එමෙන්ම, රියදුරන්ගේ මාර්ග තදබදය නිසා ඇතිවන මානසික වෙහෙස අවම කරමින්, අවට පරිසරය මෙන්ම සමස්ත ධාවන පරිසරයම වඩාත් මනරම් කරමින් හරිත ප්‍රවාහන මංපෙත් නිර්මාණය කිරීමට ද මෙය උපකාරී වේ. “පාරිසරික උරුමයක් ඉතිරි කර තැබීම සඳහා වැදගත් අධිවේගී මාර්ග දෙපස ශාක ආවරණය නැවත යථා තත්ත්වයට පත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම පිළිබඳව Alumex PLC ආයතනය ඉතා සතුටු වෙනවා. අර්ථවත් පාරිසරික ප්‍රගතියක් අත්කර ගත හැක්කේ පොදු ස්ථාන වැඩිදියුණු කිරීම සඳහා වන සහයෝගීතාවය සහ හවුල් කැපවීම තුළිනුයි. නිෂ්පාදන සමාගමක් ලෙස, අප ක්‍රියාත්මක වන ප්‍රජාවන්ගේ පරිසරයට දායක වීම වගකීම් සහිත ව්‍යාපාරයක ප්‍රධාන කොටසක් ලෙස අප විශ්වාස කරනවා,” යැයි Alumex PLC හි කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රමුක් දැදිවෙල මහතා පැවසීය.

මෙම වැඩසටහන Alumex PLC හි ‘Elevate’ ESG වැඩසටහනේ කොටසක් වන අතර, එමගින් සමාගමේ මෙහෙයුම් සහ දිගුකාලීන ව්‍යාපාරික උපායමාර්ගය තුළට තිරසාරභාවය අන්තර්ගත කර ඇත. Hayleys සමූහයේ පුළුල් ESG දැක්ම සමඟ පෙළගැසෙන මෙම වැඩසටහන, වගකීම් සහිත වර්ධනයක් සහ අනාගත පරම්පරාව සඳහා පවතින වටිනාකම් ප්‍රවර්ධනය කිරීමේ උපායමාර්ගික සැලැස්මක් ලෙස ක්‍රියා කරයි.