𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

ජෝසෆ් ෆ්‍රේසර් නයින්වෙල්ස්රෝහල විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම පශ්චාත් ප්‍රසව සුවතා මධ්‍යස්ථානය වන ParentX හඳුන්වා දෙයි

ජෝසෆ් ෆ්‍රේසර් නයින්වෙල්ස් රෝහල විසින් හඳුන්වා දෙන ලද ParentX සේවාව මඟින්, දරුවෙකු උපත ලැබීමෙන් පසු මව්වරුන්ට  විශේෂිත වූ පශ්චාත් ප්‍රසව සුවතා මධ්‍යස්ථානයක් ප්‍රථම වරට ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත. මෙමඟින් ජාත්‍යන්තරව පිළිගත් පශ්චාත් ප්‍රසව සුවය ලැබීමේ නවීන මාතෘ සත්කාර ක්‍රමවේදයක් මෙරට මව්වරුන්ට හිමි වේ. දරුවෙකු ප්‍රසූත කිරීමෙන් පසු එළඹෙන තීරණාත්මක සති කිහිපය තුළ මව්වරුන්ට සහාය වීම සඳහා මෙය නිර්මාණය කර ඇති අතර, දරුවාගේ උපතට ලබා දෙන අවධානයට සමාන අවධානයක් මවගේ සුවපත්වීම වෙනුවෙන් ද ParentX මඟින් ලබා දෙයි.

දරුවා ප්‍රසූත කිරීමෙන් පසු එළඹෙන කාල සීමාව ‘සිව්වන ත්‍රෛමාසිකය’ ලෙස හඳුන්වනු ලබන අතර, එහි ඇති වැදගත්කම පිළිබඳව ගෝලීය වශයෙන් ඉහළ අවධානයක් යොමුව තිබුණද, මාතෘත්වයේ වඩාත්ම අඩුවෙන් අවධානයට ලක්වන අදියරක් ලෙස මෙය තවමත් පවතී. ලොව පුරා පශ්චාත් ප්‍රසව සුවතා මධ්‍යස්ථාන මාතෘ සෞඛ්‍ය සංරක්ෂණයේම කොටසක් බවට පත්ව ඇති අතර, මව්වරුන්ට කායික, මානසික හා හැඟීම්බර ලෙස සුවපත් වීමටත්, තම අලුත උපන් දරුවා රැකබලා ගැනීම පිළිබඳ විශ්වාසය ගොඩනඟා ගැනීමටත් ඒවා උපකාරී වේ. ParentX මඟින් මෙම සාර්ථක ක්‍රමවේදය ශ්‍රී ලාංකික පවුල්වල අවශ්‍යතාවලට, සංස්කෘතික සිරිත් විරිත්වලට සහ ජීවන රටාවන්ට ගැළපෙන පරිදි සකස් කර මෙරටට හඳුන්වා දී ඇත.

මෙම සේවාව හඳුන්වාදීම පිළිබඳව අදහස් දක්වමින් ජෝසෆ් ෆ්‍රේසර් හි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී යූසුෆ් සබීර් මහතා මෙසේ පැවසීය. “මවකට ලබා දෙන සේවා සත්කාර දරුවාගේ උපතින් අවසන් නොවිය යුතුයි. දරුවා ප්‍රසූත කිරීමෙන් පසු සුවය ලැබීමේ කාලසීමාව යනු ගර්භණී සමයට සමාන අවධානයක් හිමිවිය යුතු තීරණාත්මක අදියරක්. ParentX සංකල්පය නිර්මාණය කළේ මව්වරුන්ට අවශ්‍ය කාලය, වෘත්තීය මඟපෙන්වීම සහ ආදරණීය සත්කාරය ලබා දෙමින් ඔවුන්ගේ ශරීර සුවතාව සහ විශ්වාසය නැවත ගොඩනඟාගෙන දෙමාපිය පදවිය සාර්ථකව ආරම්භ කිරීමට අවශ්‍ය පදනම සකසා දීමටයි. මෙය ජාත්‍යන්තරව පිළිගත් පශ්චාත් ප්‍රසව සුවතා ක්‍රමවේද ඇසුරින් නිර්මාණය වූවද, එහි සෑම අංශයක්ම ශ්‍රී ලාංකික පවුල්වලට ගැළපෙන පරිදි ඉතා සැලකිලිමත්ව සකස් කර තිබෙනවා.”

ජෝසෆ් ෆ්‍රේසර් රෝහලේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විශේෂඥ වෛද්‍ය කණ්ඩායම විසින් සකස් කරන ලද ParentX මඟින්, විද්‍යාත්මකව තහවුරු කළ පශ්චාත් ප්‍රසව සත්කාර සහ අපගේ සංස්කෘතියට හුරුපුරුදු සිරිත් විරිත් එකට එක්කරමින් පූර්ණ සුවතා අත්දැකීමක් ලබා දෙයි. මෙම වැඩසටහනට එක් එක් මව්වරුන් වෙනුවෙන් අවශ්‍ය මව්කිරි දීමේ සහාය, අලුත උපන් බිළිඳුන් රැකබලා ගැනීම පිළිබඳ දැනුවත් කිරීම්, භෞතචිකිත්සක සේවාවන්, පෝෂණ සැලසුම්කරණය, මානසික සුවතා උපදේශනය, මනස සැහැල්ලු කිරීමේ සැසි, ආයුර්වේද ආශ්‍රිත සත්කාර, සහ මවගේ සුවපත් වීමේ ගමනට සක්‍රීයව සහාය වීම සඳහා සැමියා ඇතුළු පවුලේ සාමාජිකයන්ට අවශ්‍ය මඟපෙන්වීම් ද ඇතුළත් වේ.

පශ්චාත් ප්‍රසව සුවතාව පිළිබඳව ගෝලීය වශයෙන් වැඩි අවධානයක් යොමුවන මොහොතක මෙම සේවාව ආරම්භ කර ඇත. දරුවා ලැබීමෙන් පසු එළඹෙන මෙම ‘සිව්වන ත්‍රෛමාසිකය’ තුළ ලබා දෙන විධිමත් සත්කාර සහ සහාය මඟින් මවගේ සුවපත් වීම ඉක්මන් වන බවත්, දෙමාපිය දරු සබැඳියාව ශක්තිමත් වන බවත්, මානසික සුවතාව තහවුරු වන බවත් මෙන්ම මව සහ දරුවා යන දෙදෙනාගේම යහපැවැත්මට එය මහත් රුකුලක් වන බවත් විද්‍යාත්මකව තහවුරු වී තිබේ.

උපත් අනුපාතය පහත යමින් පවතින ශ්‍රී ලංකාව තුළ, පශ්චාත් ප්‍රසව සුවතාව යනු හුදෙක් තෝරාගැනීමක් පමණක් නොව මාතෘත්වයේ අත්‍යවශ්‍ය කොටසක් ලෙස හඳුනාගනිමින්, සිව්වන ත්‍රෛමාසිකය විශ්වාසයෙන් යුතුව පසුකිරීමට මව්වරුන්ට උපකාර කරමින් ParentX සේවාව මෙරට මාතෘ සෞඛ්‍ය ක්ෂේත්‍රයට එක්වන කාලෝචිත සේවාවකි.

ParentX මඟින් ප්‍රසූතියෙන් ඔබ්බට යමින් සත්කාර සේවාවන් රැසක් තිලිණ කරමින් ශ්‍රී ලංකාවේ මාතෘ සත්කාර ක්ෂේත්‍රයේ පැවැති විශාල අඩුවක් පුරවාලීමට ජෝසෆ් ෆ්‍රේසර් රෝහල දක්වන කැපවීම මනාව පිළිඹිඹු කරයි.

අවසානයි