𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

රාජ්‍ය අංශයේ පරිවර්තනයක් උදෙසා දත්ත පාලනය සහ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ජාතික වැඩමුළුව ඇරඹේ

රාජ්‍ය අංශයේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද “රාජ්‍ය අංශයේ පරිවර්තනයක් උදෙසා දත්ත පාලනය සහ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ජාතික වැඩමුළුව” ඊයේ (20) කොළඹදී ආරම්භ විය. මෙම තෙදින වැඩමුළුව එක්සත් ජාතීන්ගේ ආර්ථික සහ සමාජ කටයුතු දෙපාර්තමේන්තුව (UN DESA) යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය ආයතන සහ ඩිජිටල් රාජ්‍ය පාලන අංශය (DPIDG), එහි රාජ්‍ය පාලනය පිළිබඳ ව්‍යාපෘති කාර්යාලය (UNPOG), ජනාධිපති ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය එක්ව සංවිධානය කරයි.

මෙම වැඩමුළුවේ ප්‍රධාන අරමුණ වන්නේ දත්ත පාලනය, ඩිජිටල් රාජ්‍ය පාලනය සහ කෘත්‍රිම බුද්ධිය වගකීමෙන් සහ ඵලදායී ලෙස භාවිත කිරීම පිළිබඳ රාජ්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ දැනුම සහ හැකියාව වර්ධනය කිරීමයි. ඒ සඳහා ජාත්‍යන්තර වශයෙන් පවතින ඉහළම භාවිතයන්, දත්ත කළමනාකරණය, අන්තර් ක්‍රියාකාරී (Interoperable) රාජ්‍යමය පද්ධති, ආචාරධාර්මික කෘත්‍රිම බුද්ධිය භාවිතය සහ ඩිජිටල් පරිවර්තනය සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය සහ ආයතනික සූදානම පිළිබඳ පුළුල් අවධානයක් යොමු කෙරේ.

තෙදින වැඩසටහනේදී දත්ත පාලනයේ මූලධර්ම, ජාතික දත්ත පාලන රාමුවක් සංවර්ධනය කිරීම, ඩිජිටල් රාජ්‍ය සේවා, රාජ්‍ය නිලධාරීන් සඳහා කෘත්‍රිම බුද්ධිය පිළිබඳ මූලික කරුණු, වගකීම් සහගතව කෘත්‍රිම බුද්ධිය භාවිතය, ජනනීය (Generative) සහ ස්වයංක්‍රීය (Agentic) කෘත්‍රිම බුද්ධිය පිළිබඳ තාක්ෂණය යොදා ගැනීම මෙන්ම ඒ සඳහා ආයතනික වශයෙන් ක්‍රියාකාරී සැලසුම් සකස් කිරීම පිළිබඳ දැනුවත් කෙරේ. මෙම දැනුවත් කිරීම් දේශන, සාකච්ඡා සහ කණ්ඩායම් ක්‍රියාකාරකම් ආශ්‍රයෙන් සිදු වේ.

මෙම වැඩමුළුව සඳහා රාජ්‍ය ආයතන නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ප්‍රතිපත්ති සම්පාදකයින්, දෙස්විදෙස් තාක්ෂණික විශේෂඥයින් සහ ජාත්‍යන්තර සම්පත්දායකයින් සහභාගී වන අතර, ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීම, ආයතන අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ සාක්ෂි මත පදනම්ව තීරණ ගැනීම ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම වැඩමුළුව වැදගත් දායකත්වයක් සපයනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙහි සමාරම්භක අවස්ථාවට ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත වෛද්‍ය Rajesh Pandav, UNPOG ප්‍රධානී Changseob Han සහ GovTech ශ්‍රී ලංකා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ශෙවාන් ගුණතිලක යන මහත්වරු ඇතුළු සම්භාවනීය පිරිසක් එක් වූහ.

උපුටා ගැනීම : අද දෙරණ