𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

මෙගාවොට් 150 කොන්ඩච්චි සුළං විදුලි ව්‍යාපෘතිය සංවර්ධනයට ගනුදෙනු උපදේශන සේවාවන් ආසියානු සංවර්ධන බැංකුවෙන්

පුනර්ජනනීය බලශක්ති ධාරිතාව පුළුල් කිරීමේ සහ පෞද්ගලික අංශයේ සහභාගිත්වය ප්‍රවර්ධනය කිරීමේ රජයේ උපායමාර්ගික දැක්මෙහි කොටසක් ලෙස නව්‍ය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ආකෘතියක් යටතේ සංවර්ධනය කරනු ලැබිය යුතු ප්‍රමුඛතා ව්‍යාපෘතියක් වශයෙන් කොන්ඩච්චි සුළං විදුලි ව්‍යාපෘතිය හඳුනා ගනු ලැබ ඇත.

අතිනවීන බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් සමඟ සම්බන්ධ කෙරෙන මෙගාවොට් 150ක සුළං විදුලි බලාගාරයකින් සමන්විත යෝජිත ව්‍යාපෘතිය මඟින් අතථ්‍ය ස්ථාවර බලශක්ති බලාගාරයක් (Virtual Firm Energy Plant) ලෙස ක්‍රියාත්මක වීම සඳහා ද ඉඩ සැලසෙනු ඇත.

තරගකාරි ලංසු කැඳවීම හරහා පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සංවර්ධනය කිරීමට සහාය ලබා දීම පිණිස ගනුදෙනු උපදේශන සේවාවන් ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව විසින් පළ කරනු ලැබ ඇති එකඟතාව යටතේ කොන්ඩච්චි සුළං විදුලි ව්‍යාපෘතිය ව්‍යුහගත කරනු ලැබීම සඳහා එම බැංකුවේ විශේෂඥතාව උපයෝගී කර ගැනීමේ යෝග්‍යතාව හඳුනාගනු ලැබ තිබේ.

එකී ගනුදෙනු උපදේශන සේවාව යටතේ ආසියානු සංවර්ධන බැංකුව ලංසු ලියකියවිලි සකස් කිරීමේ පටන් ටෙන්ඩර් කැඳවීම සහ ප්‍රදානය කිරීම දක්වා වූ ව්‍යාපෘති සංවර්ධන චක්‍රය පුරාවටම ගනුදෙනු උපදේශක වශයෙන් කටයුතු කරනු ඇත.

එමෙන්ම, එම ගනුදෙනු උපදේශන සේවාවන් සඳහා වන ඇමෙරිකානු ඩොලර් මිලියන 1.2ක ඇස්තමේන්තුගත පිරිවැය, ආසියානු සංවර්ධන බැංකුවේ තාක්ෂණික සහාය රාමුව යටතේ මූල්‍යනය කරන ප්‍රදානයක් වශයෙන් ලබා දීමට යෝජිතය. ඒ අනුව, කොන්ඩච්චි සුළං විදුලි ව්‍යාපෘතිය සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ අනුප්‍රාප්තික සමාගමක් වන නැෂනල් සිස්ටම් ඔපරේටර් විසින් ආසියානු සංවර්ධන බැංකුවේ ගනුදෙනු උපදේශන සේවාවන් ලබා ගැනීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

උපුටා ගැනීම : අද දෙරණ